සියලුම හික්ෂූන් වහන්සේලාට රක්ෂණාවරණය ලබා දීමේ 'ශාසන සුරක්ෂා' ජාතික වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරු 3.30ට අරලියගහ මන්දිරයේදී ආරම්භ කෙරේ.
දිවයින පුරා දිස්ත්‍රික්ක 25 තුළම සිටින හික්ෂුන් වහන්සේලා රක්ෂණය කිරීම මෙම වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් මෙම කටයුතු සිදුකරන අතර මෙහිදී සංකේතාත්මකව හික්ෂූන් වහන්සේලා 2,000කට රක්ෂණාවරණ පිරිනැමීමට නියමිතය. මේ වන විට ශ්‍රී ලංකාවේ රජය විසින් අනුමත කළ පිරිවෙණ 753ක් ක්‍රියාත්මකව පවතින අතර ඒවායේ ගුරුවරුන් 6,000ක් සේවයේ යොදවා ඇත.

මෙම පිරිවෙන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 60,000කි. මෙම ශාසන සුරක්ෂා රක්ෂණ ක්‍රමය අවස්ථා තුනක්  යටතේ ක්‍රියාත්මක වේ. එනම්, බුදු පුත් සුරක්ෂා නමින්  සියලුම හික්ෂූන් වහන්සේගේ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා ක්‍රියාත්මක වන හින්දු රක්ෂණ යෝජනා ක්‍රමය, බුදු පුත් මවුපිය සුරක්ෂා යෝජනා
ක්‍රමය සහ බොදු ආරාම සුරක්ෂ ක්‍රමයයි.

බොදු ආරාම සුරක්ෂා ක්‍රමය යටතේ විහාරස්ථානයකට අවශ්‍ය මූලිකාංග නොමැති විහාරස්ථාන දියුණු කර පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීම, හික්ෂුන් වහන්සේග්ලාට සහ දායකයන්ට සංවර්ධනය කිරිමට හැකියාවක් නොමැති ආරාම අනාගතය සඳහා සුරක්ෂිත කිරීම සිදු වේ.

-දිනුක මලින්ද හේරත්-