ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගයෙන් පකිස්ථානය කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. ඒ අනුව ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි ය.

බර්මින්හිම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ තණතිල්ල තෙත සහිත ස්වභාවයෙන් යුක්ත වීම හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි විය.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
නවසීලන්ත ඉනිම ආරම්භ කළේ, මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ.
ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ
සබඳතාව ලකුණු 5කට සීමා විය.
ගප්ටිල් ලකුණු 5කට පිටියෙන් ඉවත් වූයේ, මොහොමඩ් අමීර්ගේ පන්දුවක් හමුවේ ය.රොස් ටේලර් ලකුණු 3කට දැවී ගියේ ය.ටොම් ලැතම්ට රැස් කිරීමට හැකි වූයේ එක් ලකුණක් පමණි.
නායක කේන් විලියම්සන් සහ ජේම්ස් නීෂම් අතර 5 වන කඩුල්ලේ සබඳතාව ලකුණු 37කි.

විලියම්සන් පන්දු 69කින් ලකුණු 41ක් රැස් කළේ ය.
ඒ අනුව නවසීලන්ත මුල් පෙළ කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 83කදී ය.අනතුරුව පිටියේ ස්ථාවර වූ කොලින් ඩී ග්‍රැන්ඩ්හෝම් සහ ජේම්ස් නීශම් නවසීලන්ත 6 වන කඩුල්ලට ලකුණු 132ක සබඳතාවක් ගොඩනැගූහ.

3 වන එක් දින අර්ධ ශතකය වාර්තා කළ කොලින් ඩී ග්‍රැන්ඩ්හෝම් ලකුණු 64යි.මංගල එක් දින ශතකය අබියස සිටි ජේම්ස් නීශම් නොදැවී ලකුණු 97යි.4 පහර 5ක් සහ 6 පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත් ය.19 වියැති ශහීන් අෆ්‍රිඩි ලකුණු 28ට කඩුලු 3ක් දවා ගත්තේ ය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 237කි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 19කදී බිඳ වැටිණි.
ඉමාම් උල් හක් සහ බාබර් අසාම් අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 25කි.

ඉමාම් ලකුණු 19කට දැවී ගියේ ය.
අනතුරුව බාබර් අසාම් සමග එක් වූ මොහොමඩ් හෆීස් පකිස්ථාන 3 වන කඩුල්ලට ලකුණු 66ක සබඳතාවක් ගොඩනැගූහ.
හෆීස් ලකුණු 32යි.
බාබර් අසාම් සහ හාරිස් සොහේල් පකිස්ථාන සිව් වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 126ක සබඳතාව එම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.
කෙසේ නමුත් තරගයේ 48 වන පන්දුවාරයේදී සොහේල් ලකුණු 68කට පිටියෙන් ඉවත් වුණේ දුවද්දී දැවී යාමකට ලක් වීම හේතුවෙනි.
10 වන එක් දින ශතකය වාර්තා කළ බාබර් අසාම් නොදැවී ලකුණු 101ක් රැස් කර ගෙන සිටියේ ය.
පකිස්ථානය තරගය අවසන් වීමට පන්දු 5ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.
ඒ අනුව ඔවුන් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ ලකුණු 7ක් ලබා ගනිමිනි.
ලකුණු 11ක් ලැබූ නවසීලන්තය එහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.
ඔස්ට්‍රේලියාව මේ වන විට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර ඊට පිවිසෙන අනෙක් කණ්ඩායම් 3 සඳහා මේ වන විට තියුණු තරගයක් ඇති වී තිබේ.