දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මවුපියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මවුපියන් යොදවා ගැනීමේදී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදුව ඇති බවත් ගැබිනි මවුවරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ඉදිරිපිට රැඳී සිට පරික්ෂා කිරීමේ ක්‍රියාවල යෙදි සිට ඇති බවට පසුගියදා තොරතුරු වාර්තා වූ බව එම

අමාත්‍යාංශය පවසයි.

මේ අතර පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙන ඒමට බල කරමින්, දරුවන් හා මවුපියන් අපහසුතාවට පත්වන අන්දමේ සිදුවිම් කිහිපයක් පිළිබඳව පැමිණිලි රැසක් ලැබුණු බවත් මේ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය තබමින් පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මවුපියන් සම්බන්ධ කර ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ඒ අනුව පාසල ආරක්ෂාව වෙනුවෙන් මවුපියන් සම්බන්ධ කර ගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර මෙතෙක් පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාලය, ශ්‍රමය කැපකරමින් ලබා දුන් සහයෝගයට සියලු මවුපියන්ට කෘතවේදිත්වය පළ කරන බවද එම අමාත්‍යශය වැඩිදුරටත් සඳහන් කරයි.