මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන හතරකට අදාළව සිදුකළ විමර්ශනවල උධෘත ගොනු වහාම තමන්ට එවන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලිස් බලධාරින්ට නියම කර ඇත.

නීතිපතිවරයා එසේ නියෝග කළේ පසුගිය කාලයේ මහජන කැළඹීමට  තුඩු දුන් මෙම ඝාතන සිද්ධිවලට  අදාළ විමර්ශනවල අනිසි ප්‍රමාදයක් ඇති බව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව  බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය ලෙස කටයුතු කරන රජයේ 
ජ්‍යෙෂ්ඨ නිතිඥ නිශාරා ජයරත්න  මෙනෙවිය පැවසුවාය.

වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට අමතරව විමර්ශනවල උධෘත ගොනු වහාම එවන ලෙස නීතිපතිවරයා නියම කොට ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන්ටය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සාතනය, රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් සාතනය කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණියන් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සහ මුතුර් ප්‍රදේශයේ ''ඇක්ෂන් ෆාම්" රාජ්‍ය නොවන සංවිධානයේ සේවකයන් 17 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම යන සිද්ධිවල අදාළ සිදුකරන විමර්ශනවල උධෘත ගොනු වහාම එවන ලෙස නීතිපතිවරයා නියම කොට ඇත.

-මනෝප්‍රිය ගුණසේකර-