කුරුණෑගල ඇතාගල මුදුනට සංචාරය සඳහා පිරිසක් රැගෙන ගිය ත්‍රිරෝද රථයක් ඊයේ (16) ඇතාගල ඉහළ කොටසේදී අඩි තුන්සියයක් පමණ පහළට පෙරැළී යාමෙන් ත්‍රිරෝද රථයේ රියැදුරු මියගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව කුරුණෑගල පොලිසිය පවසයි.

මෙම අනතුරින් මියගියේ වාරියපොල දික්වැහැර නිශාන්ත කුමාර දිසානායක (37) නම් දෙදරු පියෙකි.

වාරියපොල දික්වැහැර සිට පැමිණි පිරිසක් මෙම අනතුරට ලක්ව සිටිති. එම පිරිසේ සිටි වැඩිහිටි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි දෙදෙනකු සමග වයස අවුරුදු 8ත් 12ත් අතර පසුවූ ගැහැනු
ළමයින් දෙදෙනකු සහ පිරිමි ළමයින් දෙදෙනකු ද තුවාල ලැබූ පිරිසට අයත් වේ.

අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර. ත්‍රිරෝද රථයේ රියදුරාගේ හිසට බරපතළ තුවාල සිදුවීමෙන් ඔහු ප්‍රතිකාර සදහා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ද ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16) සවස ඔහු මරණයට පත්වී ඇත.

මෙම පිරිස ඇතාගල මුදුනට ගොස් සංචාරය කර ආපසු පහළට පැමිණෙමින් සිටියදී ඇතාගලට පිවිසෙන දුෂ්කර මාර්ගයේ ඉහළම කොටසේ පිහිටි පටු වංගුවකදී ත්‍රිරෝද රථය පෙරළී ගොස් තිබූ බව පොලිසිය කියයි.

ත්‍රීරෝද රථයේ ගමන් කිරීමට නියම කර ඇති මගින් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් පටවාගෙන සිටීමෙන් වේගය හසුරුවාගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති
බව ද පොලිසිය කියයි.

අනතුරෙන් ත්‍රිරෝද රථයට ද දැඩි හානි වී තිබේ.  ඇතාගලට පිවිසෙන මාර්ගය අනතුරුදායක වංගු කඳු සහිත මාර්ගයක් වන බැවින් එම මාර්ගයේ වාහනවලින් ගමන් කිරිමේදී ප‍්‍රවේශම් වන ලෙස පොලිසිය ජනතාවට දන්වා සිටියි.

මරණ පරීක්ෂණය ඊයේ (16) සවස පැවැත්වීමට නියමිතව නිබිණි.

(පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල විශේෂ - අතුල පි. බණ්ඩාරනායක)