කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඇතුළුව ප්‍රධාන දුම්රිය ස්ථාන 25ක් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු දුම්රිය ස්ථාන බවට පත්කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පැවසීය.
දුම්රිය ස්ථාන නවීකරණ වැඩසටහන
යටතේ ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් දුම්රිය ස්ථාන බවට පත් කිරීම පෞද්ගලික අංශය හරහා සිදු කෙරෙනු ඇත. රජය කිසිදු මුදලක් වැය නොකර පෞද්ගලික අංශය හරහා දුම්රිය ස්ථාන නවීකරණයේදී දුම්රිය ස්ථානවල සියලු නඩත්තු කටයුතුද අදාළ ආයතනය මගින් සිදුකෙරේ.

මෙම වැඩසටහන තුළින් ජනතාවට ඉතා පිරිසිදු නවීන අංගෝපාංගවලින් සමන්විත දුම්රිය ස්ථානයක් බිහිවනු ඇත. දුම්රිය ස්ථානය අලංකාර කිරීම් ඇතුළු සියලු කාර්යයද එම දුම්රිය ස්ථානයේ සියලු නඩත්තු කටයුතුද ඔවුන් විසින්ම සිදු කෙරේ. දුම්රිය ස්ථාන නවීකරණය සඳහා යන වියදමට සරිලන අයුරින් අදාළ ආයතනයේ නාමපුවරු දුම්රිය ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ඇත. ඉදිරියේදී නව බලවේග කට්ටල ධාවනයට එක්කරන විට මෙම වැඩසටහන තුළින් ජනතාවට සියලු පහසුකම්වලින් සමන්විත දුම්රිය ස්ථානයක් බිහිවන බවද ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේය.

-නිමල් රාජපක්ෂ-