පාස්කු ඉරිදා (අප්‍රේල් මස 21 වැනිදා) බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 2014 වර්ෂයේ සිට ජාතික තව්හිත් ජමාත් සංවිධානයට සම්බන්ධ වෙමින් එම සංවිධානය විසින් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණු පන්ති සඳහා සහභාගි වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12දා) අධිකරණයට කරුණු වාර්තා කළේය.

කිංස්බරි හෝටලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදාළව පවරා ඇති නඩුව යළි කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව එලෙස කරුණු වාර්තා කළේය. කොළඹ
කොටුව වැඩ බලන මහෙස්ත්‍රාත් ජයන්ත නානායක්කාර මහතා හමුවේ සිද්ධියට අදාළ නඩුව කැඳවිණි. අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් එඬේරමුල්ල හා නින්දවුර් යන ප්‍රදේශවල රැඳී සිටිමින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වෙමින් කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වි ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

කිංස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වන මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අය අවසන් වරට රැඳී සිටි ජයන්ති මාවත, කොළොන්නාව නමැති ලිපිනයේ පිහිටි නිවෙස පරික්ෂා කිරීමේදී හෙට්ටිපොළ, කොට්ටවපිටිය ප්‍රදේශයේ අරාබි පාසලක් ආරම්භ කිරීමට අදාළ අයැදුම්පතක් ඇතුළු ඊට අදාල ලිපි ලේඛන හමුවූ බවද අයැදුම්පතේ ලේකම් ලෙස සඳහන් කර තිබූ දුවුරා ලෙබ්බේ මොහොමඩ් සාපික් යන අයගෙන් සිද්ධියට අදාළව වැඩිදුරටත් ප්‍රශ්න කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කරුණු වාර්තා කර සිටියේය.

කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් යන අයගේ පශ්චාත්  මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසීම සඳහා ඔහුගේ ඥාතීන් ඇතුළු සාක්ෂිකරුවන් අධිකරණයට  කැඳවිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අධිකරණයෙන් දිනයක් ඉල්ලා සිටිනු ලැබීය.

ඊට අමතරව කිංස්බරි බෝම්බ සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට ප්‍රගතිය වාර්තා කිරිමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය සලකා බැලූ වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා ඒ සඳහා ලබන මස 10 වැනිදා දින ලබා දෙමින් නඩුව ලබන මස 10 වැනිදා කැඳවන ලෙසට නියෝග කළේය.