ශ්‍රී ලංකාවේ පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාව විප්ලවීය මාවතකට අවතීර්ණ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීම පසුගිය 23 වනදා සනිටුහන් කළේ අම්පාරේ පැවති උත්සවයකින් නැගෙනහිර පළාතද ආවරණය හමාර කරමිනි.

සංකල්පයේ නිර්මාතෘ, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සව අවස්ථාවට අමාත්‍ය දයා ගමගේ මහතා සහ ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය. මෙම සේවාව මුල් වරට 2016 ජූලි මාසයේදී දකුණ සහ බස්නාහිර පළාතේ ආරම්භ කළ අතර පසුව සෙසු පළාත් වලද ක්‍රමයෙන් ආරම්භ කළේය.

මෙම සේවාව සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය කිරීමත් සමග දිවයින පුරා 1990 සුවසැරිය ගිලන් රථ 297 ක් ක්‍රියාත්මක වේ. සේවාවට දුරකතන ඇමතුම් 1,133,344 කට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා 219,371 ක් ගිලන් රථ පිටත් කර යවා මිනිත්තු 12.58 ක් වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගියා වෙත ළඟාවී හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් 198,223 ක් රෝහල් කරා රැගෙන ගොස් තිබේ. මීට අමතරව, මෙම ගිලන් රථ තුළ මේ වනවිට දරු උපත් 89 ක් සිදුවී ඇත.

මෙම සේවාව ශ්‍රී ලංකාව පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 22.5 ක යළි නොගෙවිය යුතු ප්‍රදානයක් ලබාදුන් අතර 2018 වසරේදී පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ආරම්භ කරමින් මෙම සේවාවේ මෙහෙයුම් කටයුතු සුවසැරිය පදනමට පැවරීමෙන් පසුව මෙම සේවාව මේ වනවිට මෙරට රජයට පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙස ක්‍රියාත්මක වේ.
1,428 ක් සුවසැරිය පදනම යටතේ රැකියා අවස්ථා හිමිකරගෙන තිබේ.