https://www.gossiplankanews.com/2019/06/19-18-maithripala-speech.html#more
සුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ 2/3 බහුතරය සකසාගෙන ජනපතිවරයෙකුට අසීමිත වාර ගණනකට තරග වැදිය හැකි බවට ස්ථිර කරගත් 18 වන සංශෝධනය මෙන්ම යහ පාලනය රජය යටතේ
එම වාර ගණන සීමා කර අගමැති බලය වැඩි කළ 19  සංශෝධනයද අහෝසි කළ යුතු බවට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ප්‍රකාශ කර තිබේ.

මේ රටට යහපතක් වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දහඅටවන සහ දහනවවන යන සංශෝධන දෙකම අවලංගු කළ යුතු බව ජනාධිපති

පැවසුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (23) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවයකදීය.

දහඅටවැනි සංශෝධනයෙන් රටට ආඥාදායකයකු, ඒකාධිපතියකු බිහිවන තත්ත්වයක් තිබියදී එය වැළැක්වීමට ආණ්ඩුවක් හැදූ අපි ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් සිදුවූයේ රට දේශපාලන වශයෙන් අස්ථාවර වීම බව ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මේ වනවිට අදහස් දක්වා ඇත. ඔහු පෙන්වා දෙන්නේ 19වන සංශෝධනය ගෙන ආවේද, ජනාධිපතිවරයාගේ උවමනාවට බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පෙන්වා දුන්නේ 18වන සංශෝධනය ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංශෝධනයක් බවයි

ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ 19 වන සංශෝධනය ගෙන ඒමෙන් අපේක්ෂා කළ අරමුණු ඉටු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බවයි.
කෙසේවෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප‍්‍රකාශ කර ඇත්තේ 19 වන සංශෝධනයට සහය දුන් සියලූ දෙනා රටේ උද්ගතවී ඇති දේශපාලන අස්ථාවරත්වයට වගකිව යුතු බවයි.