පසුගිය අයවැයෙන් ලබාදුන් යෝජනාවක් අනුව රාජ්‍ය සේවකයන්ට ජුලි 01 වැනිදා සිට රුපියල් 2,500ක අන්තර්  දීමනාවක් ලබාදෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.

රාජ්‍ය සේවකයන්ට දැනට ලබාදෙන රුපියල් 7,800ක ජීවන වියදම් දීමනාවට අමතරව මෙම දීමනාව ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  කාර්යාල කාර්ය සහායකයෙකුගේ වැටුප රුපියල් 24,250ක්, හෙද හෙදියන්ගේ වැටුප රුපියල් 32,525ක්, උපාධිධාරී ගුරුවරයකුගේ වැටුප රුපියල් 33,300ක්,

අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල්  98,650ක් දක්වා වැඩි වීමට නියමිත බවද හෙතෙම  පවසා සිටියේය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා,

"පසුගිය මාස කිහිපය තුළ ඩොලර් මිලියන 1,200කට වැඩි ජාත්‍යන්තර ආධාර හිමි වුණා. සති කිහිපයකට පෙර ලෝක බැංකුවේ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සඳහා  ඩොලර් මිලියන 70ක මුදල ලබා දුන්නා. මීට අමතරව
ඩොලර් මිලියන 152ක් සංවර්ධන ව්‍යාපෘති තුනක් සඳහා ලබාදී තිබෙනවා, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සංකල්පය
වෙනුවෙන් ඩොලර් බිලියන 50ක් ආසියානු සංවර්ධන  බැංකුවෙන් අනුමත කළා. මේ සියලූ ජාත්‍යන්තර ආධාර  හිමි වෙන්නේ පෞද්ගලික හිතවත්කම් හෝ පෞද්ගලික මිත්‍රකම් නිසා නොවේ.

අපේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති ගැන තිබෙන පැහැදීම නිසයි.

'ගම්පෙරළිය' වැඩසටහන යටතේ මිලියන 48,000ක  සංවර්ධන ව්‍යාපෘති රට පුරාම මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

රට වැඩ බිමක් වෙලා, ගමේ සුළු පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට, ව්‍යාපාරිකයන්ට ගමේ සමිති සමාගම්වලට හැම ආසනයකටම තවත් මිලියන 100ක් 'ගම්පෙරළිය' හරහා සංවර්ධනයට ලබාදෙනවා. ධර්ම ශාලා ව්‍යාපෘතිය සඳහා ආසනයකට කෝටියක මුදලක් ලබාදෙනවා. මේ අනුව විහාරස්ථාන හා වෙනත් ආගමික ස්ථාන 800ක් ඊළඟ මාස හය තුළ ක්‍රියාත්මක කෙරෙනවා.

සියලු සංවර්ධන කටයුතු නොකඩවා සිදුකරනවා. කිසිම  වෙලාවක රජයේ සේවකයන් අමතක කළේ නැහැ. ජුලි මාසයේ පළමු වැනිදා පසුගිය අයවැයෙන් ලබාදුන් යෝජනා රාශියක් ක්‍රියාත්මක වෙන්නේ ජූලි මාසයේ පළමු වැනිදායි.මේ මාසයේ අවසානයේ සිට සියලු රජයේ සේකයට ලැබෙන රුපියල් 7,700ක ජීවන දීමනාවට අමතරව අලුතින් රුපියල් 2,500ක අන්තර් දීමනාවක් ලැබෙනවා.

නිධන්ගත වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගීන්ට ලබාදෙන රුපියල් 5,000ක මුදල රෝගීන් 6,000 සිට 27,000 දක්වා තවත් අලුතෙන් 5,000ක ප්‍රමාණයකට  මුදල ලැබෙනවා. " යනුවෙන් පවසා සිටියේය.