ආදි මානවයින්ගේ ශිෂ්ටාචාරයක් සහිත මෙගලිතික සොහොන් කිහිපයක් පසුගියදා (26දා) ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වල්ලූවර් කෝට්ටම් ප්‍රදේශයෙන් හමු වූ බව පුරාවිද
දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රදේශයේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියක් සිදු කරමින් සිටින අතරතුරදී මෙම සොහාන් හමුවී ඇත.

මෙම සොහොන් වසර 3000කට වඩා පැරණි බවට අනාවරණය වී ඇති බවත් මේ වනවිට සොහොන් 12ක නටබුන් මතුවී ඇති බවත් නිවාස ඉදිකිරීමට නොදැනුවත් කමින් සොහාන් පහක ගල්
ගලවා ඉවත්
කර පසෙක ගොඩ ගසා ඇති බවද ත්‍රිකුණාමලය ප්‍රාදේශීය පුරාවිද අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසීය.

ඇතැම් සොහොන්වලට නිධන් හොරු හානි කර ඇති බව කී අධ්‍යක්ෂවරයා සමහර සොහොන් තවමත් සුරක්ෂිතව පවතින බවට දක්නට ඇතැයිද පවසා සිටියේය.

මෙගලිතික සොහොන් යනුවෙන් හඳුන ආදි මානවයාගේ මෙවැනි සොහොන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ යාංඔය, මහින්දාපුර ආදී ප්‍රදේශවලින් මුලින් හමු වී ඇති අතර වල්ලුවර් කෝට්ටම්වලින් හමු වු තුන්වැනි ස්ථානය මෙය වේ.

මෙම සිදුවීමත් සමග අදාළ ප්‍රදේශයේ ඉදිකිරීම් නැවැත්වීමට පියවර ගත් බවත් මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමේදී පුරාවිද්‍යා වාර්තාවක් කැඳවිය යුතු වුවත් එම නීති රාමුවෙන් පිට මෙම කටයුතු සිදුකර තිබීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවද, සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේය.