කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය අසල තිබී පුපුරා හරින ලද වෑන් රථයේ කාල බෝම්බය සවිකර සකස්කර ඇත්තේ පානදුර ප්‍රදේශයේ පිහිටි තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව කියන පිරිසකට අයත් ආරක්ෂක නිවස්නයකදී බවට රහස් පොලිසිය සැක කරනවා.

එම වෑන් රථයේ තිබී ඉවත් කර ඇති පිටුපස ආසන පේලිය කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ තිබී සොයා ගැනීමට සමත් වූ බව රහස් පොලිසිය පවසනවා.

කොච්චිකඩේ පල්ලියේ බෝම්බය පිපිරී පැයැකින් පුපුරා යාමට වේලාව සකස් තිබුණු බව කියන එම වෑන් බෝම්බය පුපුරා ගොස් නැත්තේ එහි විදුලි සැපයුම
නිසි පරිදි සම්බන්ධ නොවීම නිසා බව පොලිසිය සැක කරනවා. රෙදි සෝදන යන්ත්‍රයක ටයිමරයක් උපයෝගී කරගෙන මෙම බෝම්බය අටවා තිබුණු බව පොලිසිය පැවසුවා.

පල්ලියට මීටර 80ක් දුරින් එම වෑන් රථය නතර කර තිබී ඇති අතර කොච්චිකඩේ බෝම්බය පුපුරා ගොස් පැයක් යද්දී එය දැකබලා ගැනීමට පැමිණෙන්නන් රැස්වන්නේ මීටර ගණනක් ඈතින් වීම නිසා එලෙස රැස්වන පිරිස ඉලක්ක කර මෙම බෝම්බය පුපුරා යාමට වේලාව සකස් කර තිබී ඇති බව රහස් පොලිසියේ ආරංචි මාර්ග පවසනවා.

එළියේ සිට වෑන් රිය දෙස බැලූ විට හොඳට පෙනෙනා ආකාරයට දහසේ කොල කිහිපයක් පෙනෙන්නට දමා තිබී ඇති බවත්, එහි එක් කොනකට වන්න තුවායක් ද දමා තිබී ඇති බවත්, දහසේ කොළ ගැනීමට දොර විවෘත කළහොත් හෝ තුවාය ඉවත් කළහොත් බෝම්බය පුපුරා යන පරිදි වෑන් රිය තුළ එය සවි කර ඇති බවත් පොලිසිය පැවසුවා.

කිලෝ 12.5 ගෑස් ටැංකි තුනක් ද සවි කර සකස් කරන ලද මෙම වාහන කාල බෝම්බය නියමිත වේලාවට පුපුරා ගියා නම් විශාල විනාශයක් වීමට ඉඩ තිබුණු බව ද පොලිසිය සඳහන් කරනවා.

කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ බෝම්බය පුපුරා ගොස් දින දෙකකට පමණ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම වෑන් රිය සොයා ගත් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් එය පුපුරුවා හැර නිෂ්ක්‍රීය කරනු ලැබුවා.