නේවාසික වෛද්‍ය පුහුණුවක් සඳහා කළුබෝවිල මහ රෝහලට පැමිණ සිටි මුස්ලිම් වෛද්‍යවරයකුට අයත් මෝටර් රථයේ තිබී අයි. එස්. අයි. එස්. මුස්ලිම් අන්තවාදී සිද්ධීන් ඇතුළත් සංයුක්ත තැටි තොගයක් තිබී සොයා
ගැනීමට එම රෝහලේ ආරක්‍ෂාවට යොදවා සිටි ගුවන් හමුදා නිලධාරීන් 03 දා සමත් විය.

 සැකකාර මුස්ලිම් වෛද්‍යවරයාද ගුවන් හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 මෙම වෛද්‍යවරයා අදාළ රථය රෝහල් භූමියේ නවතා තිබූ බවද ගුවන් හමුදා නිලධාරියෙක් පැවැසීය.

 සැකකරු කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පදිංචි වෛද්‍ය විද්‍යාව හදාරා උපාධිය ලබාගත් අයකු බවත් එම උපාධියෙන් පසු ලබාදෙන ප‍්‍රථම වසර නේවාසික වෛද්‍ය පුහුණුවට මොහු පසුගිය අප්‍රේල් 1 වැනිදා කළුබෝවිල මහ රෝහලට පැමිණ ඇති බවත් හෙළි වූ බව එම නිලධාරියා කීය.

 පසුගිය 21 වැනිදා කොළඹ සහ ඊට තදාසන්න ප‍්‍රදේශවල සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවත් සමග කළුබෝවිල මහ රෝහලේ ආරක්‍ෂාවට ගුවන් හමුදා භට පිරිස් යොදවනු ලැබීය. එම භටපිරිස් නිරන්තරයෙන්ම රෝහලට ඇතුළුවන පිරිස් හා වාහන දැඩි පරීක්‍ෂාවට ලක් කරති. මීට අමතරව නිරතුරුව රෝහල් භූමිය, වාට්ටු ඇතුළු සෑම ස්ථානයක් මෙන්ම රෝහල අවට ද නිරතුරුව ගුවන් හමුදාව සෝදිසි කරති. එවැනි සෝදිසි කිරීමකදී සැකකාර වෛද්‍යවරයාගේ වාහනය පරීක්‍ෂා කිරීමේදී මෙම අන්තවාදී සිද්ධීන් ඇතුළත් සංයුක්ත තැටි තොගය සොයාගෙන තිබේ.

 මීට අමතරව මෙම වෛද්‍යවරයාගේ ඥාතීන් පදිංචිවී සිටින ගල්කිස්ස, විජය පාර හා මොරටුව ප‍්‍රදේශයේ නිවාස කීපයක්ද ගුවන් හමුදා භට පිරිස් හා පොලීසිය එක්ව දැඩි පරික්‍ෂා කිරීමකට ලක් කළද එහිදී සැකකටයුතු කිසිවක් හමුවී නැත.

 මොහු තවුහිද් ජමාත් සංවිධානය සමග සබඳතා පවත්වන අයෙකුද? මොහුට මෙම අන්තවාදී සංයුක්ත තැටි තොගය ලැබුණේ කෙසේද? පසුගියදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් සමග සබඳතා පැවැත්වූයේ ද? යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවද එම ගුවන් හමුදා නිලධාරියා කීය.


ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න - රත්මලාන