රුපියල් එක් කෝටි දස ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන. ආ නෝර්වීජියානු පිය පුතු දෙපළක් ඊයේ (14) දින රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්
අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

55 හැවිරිදි මෙම නෝර්වේ ජාතික පියා එරට ප්‍රමුඛ පෙළේ ස්වර්ණාභරණ සාප්පු හිමියෙකි .

ඔහුගේ පුතා 18 හැවිරිදිය .

ඔවුන් දෙදෙනා ඊයේ දින රාත්‍රී 11.45 ට සිංගප්පූරුවේ සිට පැමිණි
සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔවුන් විසින් ඇඳගෙන පැමිණි කලිසම් වල ඉන ප්‍රදේශයේ මෙම මාල , වළලු සහ මුදු අඩංගු කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 825ක් බර ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම අත්අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන නුවන් අබේනායක , රසික සමන්ජිත් , හිරුන් ගුණසිරි , චානක වේලාරත්න සහ ධනුෂ්ක අලහකෝන් යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි .

මේ පිළිබඳව විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්.බී.ගලේවෙල මහත්මිය විසින් පැවැත්වූ අතර , එහිදී මෙම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර , මොවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ හයක මුදලක් දඩ මුදල් ලෙස ගෙවන ලෙසද නියෝග කළාය .