සංවිධානාත්මක අපරාධකරුවකු වූ ඩුබායි රටින් පිටුවහල් කරන ලද මාකඳුරේ මධුෂ් නමැත්තාගේ පියාගේ අවමඟුල් උත්සවයට ගුවනින් මල් ඉසීමේදී එම හෙළිකොප්ටය පැදවූයේ ඌව කුඩාඔය ආයුධ ගබඩාවේ හිමිකරුගේ පුතා බව සිදුකළ විමර්ශනවලදී හෙළි වී යැයි පොලිසිය කියයි. ඔහුගෙන් ඒ පිළිබඳව විමසීමේදී
තමන් රාජකාරිය සිදුකළා මිස මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න දැන නොසිටි බව ප්‍රකාශ කළ බව පරික්ෂණ කණ්ඩායමේ පොලිස් නිලධාරියකු පැවැසීය.

ප්‍රධාන සැකකරුගේ පුතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිටියදී යහපත් කල් ක්‍රියාවෙන් සේවය කර ඇතැයිද ඒ සම්බන්ධයෙන් මෙතෙක් කරන ලද විමර්ෂශනවලදී හෙළි වී යැයි පොලිසිය කියයි.
මේ අතර  වැල්ලවාය, කුඩාඔය, ජංගලීවත්තේ අවි ගබඩාවේ හිමිකරුගේ දෙහිවල සරණංකර මාවත දෙමහල් නිවෙසේ සඟවා තිබූ වායු රයිෆල් ගිනි අවි කොටස් හා ජීව උණ්ඩ සමඟ තවත් භාණ්ඩ රැසක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට හැකිවිය.

බෝර දොළහේ සජීවී පතරොම් විසිදෙකක්, බෝර දොළහ හිස් පතරොම් කොපු අනුවක්, ආමර් මැගසින් උණ්ඩයක්, ටී පනස් හයේ සජීවී පතරොම් තුනක්, හතරයි දශම පහ සජීවී පතරොමක්, මිලිමීටර් නවයේ ජීව උණ්ඩ දෙකක්, සරඹ උණ්ඩ දෙකක්, හඳුනා නොගත් ජීව උණ්ඩ තුනක්, විදේශීය පිස්තෝල අවියක කොටසක්, ෂොට්ගන් අවි පිරිසුදු කිරීමේ කට්ටල දෙකක්, විදේශීය නිෂ්පාදිත අංකයක් නොමැති වායු රයිෆල් දෙකක්, වායු රයිෆල් සඳහා භාවිත කරන උණ්ඩ පිරවීම සඳහා යොදා ගනු ලබන ඊයම් කැබලි පිරවූ ටින් එකක්, වායු රයිෆල් සඳහා භාවිත කරනු ලබන ගස් ටියුබ් දෙකක් තිබී පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

ඌව කුඩා ඔය, ජංගලිවත්ත අක්කර පහක පමණ වත්තක වළ දමා තිබූ විවිධ වර්ගවල ජීව උණ්ඩ තොගයක්, දුම් බෝම්බ, කිණිසි, දැළි පිහි, කෙටේරි, කඩු ඇතුළු ආයුධ තොගයක් ඉකුත් 12 වැනිදා කුඩා ඔය පොලිසිය මඟින් සොයා ගැනීමෙන් පසු එම අවි ආයුධ තොගයේ අයිතිකරු අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුගේ පුතා ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස සේවය කර ඉන් ඉවත් වී පෞද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවකු ලෙස රැකියාවක නිරත වන බවත් පොලිසිය කියයි. සැකකරුගේ පුතා ගුවන් හමුදාවේ සිටි කාලය තුළ යහපත් කල් ක්‍රියාවෙන් කටයුතු කර ඇතැයි පොලීසිය කියයි.

ඌව කුඩාඔය අවි ගබඩාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්  පුද්ගලයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු විනෝදාංශයක්  ලෙස ගිනි අවි පතරොම් හා අනෙකුත් භාණ්ඩ එකතු කළ බව පැවැසූ බව පොලීස් නිලධාරියකු පැවැසීය. එම පුද්ගලයාට ඌව කුඩාඔය ප්‍රදේශයේ ගොවිපොළක් ඇති නමුත් එයින් නිසි ආදායමක් පවා නොලැබෙන බවත් සිදුකළ මුලික විමර්ශනවලදී මේ වනවිට අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයකු පැවසීය.