https://www.gossiplankanews.com/2019/05/malcom-cardinal-request.html
බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්‌ලාම් ආදී වශයෙන් වෙන වෙනම අමාත්‍යාංශ පවත්වාගෙන යනවා වෙනුවට පෙර පැවති ආකාරයට සියලුම ආගම් සඳහා එක්‌ අමාත්‍යාංශයක්‌ පත්කරන ලෙසට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා රජයෙන් ඉල්ලීමක්‌ කර තිබේ.
 එමෙන්ම ආගමික හෝ ජාතියක නමක්‌ සහිත
දේශපාලන පක්‌ෂ තහනම් කළ යුතු බවද,

එමෙන්ම රට තුළ හටගෙන ඇති ගැටුම්වලට දේශපාලන පක්‌ෂවල ප්‍රාදේශීය මට්‌ටමේ නායකයන් සම්බන්ධ බැවින් තමන්ගේ ගෝල බාලයන් පාලනය කරගන්නා ලෙස දේශපාලන පක්‌ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද අගරදගුරුතුමන් පවසා තිබේ.

 රටේ සංස්‌කෘතියේ කොදු නාරටිය බුද්ධ ධර්මය බවත්, බුද්ධ ධර්මයේ හැසිරීම අනිත් ආගම්වලට ආශිර්වාදයක්‌ බවත්, බුද්ධ ධර්මයෙන් සංස්‌කෘතිය පෝෂණය වන රටක ජීවත් වීමට ලැබීම පවා වාසනාවක්‌ බවත් පැවසූ අගරදගුරුතුමෝ සෙසු ආගම් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇතැයිද සඳහන් කළහ.

 තමන්ගේ ගෝලබාලයන්ට බීමත්කමින් නීතිය අතට අරගෙන ඉස්‌ලාම් ජනතාවගේ ආගමික ස්‌ථානවලට, කඩ සාප්පුවලට පහරදීලා ඒක වීරකමක්‌ ලෙස සැලකීමෙන් වළකින්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේ කාඩ්බෝඩ් වීරයෝ අපේ ලංකාවට අවශ්‍ය නැහැ. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වෙසක්‌ උත්සවය, රාමසාන් උත්සවය ආදී උත්සව වල ඒ ඒ ආගමිකයන්ට නිරත වෙන්න ඉඩදීලා හැකි ඉක්‌මනින් මේ රට සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට ඉඩ දෙන්න කියලා මම ඒ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය අපි පාලනය කර ගත්තේ නැත්නම් අපේ රට හුඟාක්‌ ව්‍යාකූල තත්ත්වයකට පත්විය හැකි යෑයිද අගරදගුරුතුමන් පවසා තිබේ.