යාපනය නල්ලූර් කෝවිලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් කෝවිල අවට ප්‍රදේශය වෙත ආරක්ෂාව තර කොට ඇති අතර එම ලිපිය සම්බන්ධයෙන් දැඩි පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර
කාර්යාලය වෙත ලද නිර්නාමික ලිපියක් හේතුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදාගෙන කෝවිල අවට ආරක්ෂාව තර කර විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ බව ආරක්ෂක අංශ පැවසිය.යාපනය නල්ලූර් කෝවිලේ පූජාවන් වෙනුවෙන් සිකුරාදා දිනයේ විශාල පිරිසක් පැමිණෙන බැවින් අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කර ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.

නිර්නාමික ලිපිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර කෝවිල ප්‍රදේශයේ ආරක්ෂාව තර කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පොලිසිය හා යුද හමුදාව වෙත උපදෙස් ලබාදී ඇති බව එහි නිලධාරීහු පැවසූහ. ආරක්ෂක තත්වය හේතුවෙන් යාපනය පේදුරුතුඩුව මාර්ගය කෝවිල සීමාවෙන් වසා දමා ඇති බවද ආරක්ෂක අංශ පවසයි. යාපනයේ චුණ්ඩිකුලි විද්‍යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට මීට සති දෙකකට ඉහතදී නිර්නාමික ලිපියක් ලැබුණු අතර එම ලිපිය හා සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ විමර්ශනයකදී හෙළි වූයේ පළාතේත්ම තරුණයකු විසින් එම ලිපිය එවන ලද බවටයි.