හැටන් සිට මහනුවර බලා  ධාවනය කරන ලංගම හා පෞද්ගලික් බස් රථ අද (24) දා අළුයම සිට වර්ජණයක් ආරම්භ කර ඇති නිසා පාසල් ළමයින් ඇතුලු මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
නාවලපිටිය නගරයේ ප්‍රධාන බස්රථ ගාලේ පිහිටි මහනුවර බස් නැවතුම්පළ නාවලපිටිය දුම්රිය ස්ථානය
අසලට ඉකුත් (22) දා  සිට ගෙන යාමට එරෙහිව හා නාවලපිටිය ප්‍රධාන බස්රථ ගාලේදී තම රියදුරන්ට හා කොන්දෝස්තරවරුන්ට සිදුකරන බව කියන තර්ජණ වහා නවත්වන ලෙස ඉල්ලමින් මෙම වර්ජණය ආරම්භ කළ බව,  හැටන් බස්රථ ගාලේ, මධ්‍යම පළාත්  මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ස්ථානාධිපති පී.ජී. ගමිණී මහතා පැවසීය.

නාවලපිටිය බස්රථ ගාලේ තිබූ මහනුවර බස්

නැවතුම්පළ නාවලපිටිය දුම්රිය ස්ථානය අසලට ගෙන ගියද එම ස්ථානයේ මගී ජනතාවට රැඳී සිටීමට මගී අවරණයක් නොමැති බවත්, එම ස්ථානයේ ස්ථීර මගී අවරණයක් ඉදිකරන තෙක් නැවත එම බස්නැතුම්පළ නාවලපිටිය බස්රථ ගාල වෙත ගෙනයන ලෙස තමන් නාවලපිටිය නගරාධිපති වරයාගෙන් හා පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බවත් පී.ජී. ගාමිණි මහතා පැවසීය.
 පවතින ප්‍රශ්න සම්බන්ධව කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා තමන් මධ්‍යම පළාත් මාර්ගස්ත ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා දැණුම්වත් කර ඇති බව හැටන් පෞද්ගලික බස්රථ හිමියන් හා රියදුරු කොන්දොස්තරවරුන් කියා සිටිති.

අප මේ සම්බන්ධව හැටන් ලංගම බස් ඩිපෝවේ ඩිපෝ අධිකාරී අනුර දොඩංතැන්න මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම කියා සිටියේ, හැටන් ඩිපෝවේ බස්රථ රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට නාවලපිටිය බස් නැවතුම්පලේදී සිදු කරන බැණ වැදීම් හා තර්ජණ සම්බන්ධව මෙම වැඩ වර්ජණය ආරම්භ කර ඇති බවත්, ඊට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් ලංගම මහනුවර ප්‍රාදේශිය කාර්යාලයේ උසස් නිලධාරීන්ට ලිඛිතව දැණුම්දීම් කර ඇති බවත්ය.
(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)