ඊයේ දිනයේදී පළ කළ ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලේඛනයට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බව කියැවුණත් එවැන්නක් තවම සිදුව නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්

නිදහස් කිරීමට අදාළ කිසිදු ලේඛනයකට ජනාධිපතිවරයා මෙතෙක් අත්සන් කර නොමැති බවත් එය මාධ්‍ය නිර්මාණය කල දෙයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අමරවීර මහතා අද (23) දහවල් දන්වා සිටියේය.

නමුත් බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සදහන් කළේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවකි.

මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමට අදාල නෛතික කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද පවසා ඇත.
ඊට අදාල කටයුතු තවදුරටත් සිදු කරන බැවින් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය කල නොහැකි බවද ඇමතිවරිය දන්වා ඇත.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට පසුගිය වසරේ අගෝස්තු මස 08 වන දින බරපතල වැඩ සහිත වසර 06ක සිරදඩුවමක් හිමිවුණි.