මේ දිනවල වරින්වර අහවල් තැනට බෝම්බ එල්ල කරනවා අහවල් වේලාවට බොම්බ එල්ල කරනවා යනුවෙන් ව්‍යාජ ලිපි සකස් කර ඒවා අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කර හරින කන්ඩායමක් සිටින බවට රහස් පොලිසිය විමර්ශනයක් අරඹා ඇත.

ඊයේ පළවූ ලිපියකින් නාවල ඇතුළු කොළඹ

අවට ස්ථාන ගණනාවකට ලබන 13 වනදා ප්‍රහාරයක් සිදු කරන බවට සංචාරක මන්ඩලයේ ව්‍යාජ සීල් භාවිත කරමින් ලිපියක් සකසා පතුරා තිබූ අතර එය කෙතරම් දුරදිග ගියේද යත් ඒ වෙනුවෙන් බලධාරීන්ට ප්‍රකාශ පවා නිකුත් කරන්නට සිදු විය.

මේ ආකාරයට ව්‍යාජ ලිපි සකස් කර ඒවා ඇත්ත ඒවා ලෙස ඒත්තු යන පරිදි යම් යම් එකතුකිරීම් කර බෙදාහැරීම පසුපස කණ්ඩායමක් සිටින බවටත් ඔවුන් අල්ලා දෙන ලෙසටත් අධයාපන ඇමතිවරයාද රහස් පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර ඔහු පවසන්නේ මේවා කඩාකප්පල් වැඩ බවයි.

මෙම ලිපි හේතුවෙන් පාසල් එන සිසුන් ප්‍රමාණය අඩු කිරීමට සැලැස්මක් ක්‍රියාත්මක බවත්, සිසුන්ට ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට ඇමතුම් හා පනිවිඩ එවමින් මෙම කන්ඩායම අදළ ව්‍යාජ පුවත් පැතිරීමට උත්සාහ දරා ඇති බවට සාක්ෂි පවතින බවත් ඇමතිවරයා දන්වා ඇත.

මේ ගැන පරීක්ෂණ පවත්වන පොලිසියට මෙම ව්‍යාජ ලිපි නිර්මාණය හා පතුරුවාහැරීම පසුපස පාසල් යාමට කම්මැලිවූ සිසුන් පිරිසක් සිටින බවටද තොරතුරු ලැබී ඇති අතර ඒ අය හසුකරගැනීමට තවදුරටත් පරීක්ෂණ සිදුවේ.