කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කළ කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නැමැති සැකකරු ලබන 10 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) නියම කළේය. මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය මගින්
නිකුත් කළ නොතීසියකට අනුව ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් 08 දෙනාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මෙහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කරුණු දැක්වූ ත්‍රස්ත විමර්ශන කාර්යාංශය නිලධාරියා කියා සිටියේ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි
මෙම සිද්ධිය පිළිබදව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය මගින් පරික්ෂණ ආරහ කර ඇති බවයි. කරුපයියා රාජේන්ද්‍රන් හෙවත් අබ්දුල්ලා නමැති සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් ඒ අනුව ඔහුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පරික්ෂණ කටයුතු කරන බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියා කියා සිටියේය.

ඒ අනුව අදාළ සැකකරු තවදුරටත් ලබන 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස ත්‍රස්ත මර්දන කාර්යාංශයේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් නවදෙනා ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව සදහන් කළ ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ නිලධාරින් ඔවුන් සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවද කියා සිටියේය. ඒ අනුව අදාළ සැකකරුවන්ට අද (28) සිට ජුනි 1 වැනිදා තෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (27) නියම කළේය.