තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ හොරොව්පතාන හා කැබිතිගොල්ලෑව සම්බන්ධීකාරක ලෙස කටයුතු කළ බව කියන අබුබකර් නමැත්තා මැදපෙරදිග රටකට පලාගොස් ඇති බව පොලිසිය කියයි.

පාස්කු ඉරිඳා බෝම්බ පිපිරිම සිදු වූ දිනට දින දෙකකට  පමණ ඉහතදී මොහු මෙසේ මැදපෙරදිග රකටට පලාගොස් ඇති බවට පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්   පැවසීය.
මොහු හොරොව්පතාන මුක්කන්වැල්ල ප්‍රදේශයට පදිංචිකරුවෙකි.
කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන ප්‍රදේශවලදී ඉකුත් දා  අත්අඩංගුවට ගත් හොරොව්පතාන, වීරසෝල් විද්‍යාලයේ උපගුරුවෙරයකු වූ ලෙබ්බේ තම්බි ජස්මින්, සිරාජ් නගර් අරාබි විද්‍යාලයේ ගුරුවරයකු වූ සෙසුනුල් ආබ්දීන්,
හොරොව්පතාන ප්‍රදේශීය ලේකම් කාර්යාලයට
අනුයුක්තව සේවය කළ ආර්ථික සංවර්ධන නිලධාරි මොහිදීන් බාවා  නවුෆර් හා කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවියකු වූ සකිරියා  යන පිරිස රැඳවුම් නියෝග මත රඳවාගත වැඩිදුරත් ප්‍රශ්න කිරීමේදී මේ අබුබකර් නමැත්තා ගැන තොරතුරු පොලිසිය හෙළිකරගෙන ඇත.
මොහු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී ඉකුත් 19 වැනිදා රටින් පලාගොස් ඇති බව දැන ගැනීමට ලැබිණි යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
හොරොව්පතාන හා කැබිතිගොල්ලෑව ප්‍රදේශවල සහරාන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අන්තවාදී දේශන පසුගිය කාලයේ වරින්වර සංවිධානය කර ඇත්තේ මොහු බව පරික්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම ප්‍රදේශවල එම වකවානුවේ වරින්වර පැවති දේශනවලට හාරසිය දෙනකු පමණ සහභාගි වී ඇති බවත් පොලිසිය පවසයි.
මෙම දේශන සඳහා සහරාන් අබුබකර්ගේ සහාය ඇතිව කාතාන්කුඩියේ සිට තරුණ පිරිස් බස් රථවලින්
ගෙන්වාගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.  මෙම දේශන සඳහා සහභාගි වන සෑම අයෙකුටම රුපියල් 10,000ක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ද පිරිනමා ඇතැයි හෙළි වී තිබේ.  මීට අමතරව තවුහිත් ජමාත් සංවිධානයට ක්‍රියාකාරිව දායකත්වය ලබා දෙන පවුල් 40ක සාමාජිකයන් තෝරාගෙන  ඔවුනට වියළි ආහාර ද්‍රව්‍යවලට අමතරව එසේ තෝරාගත්  පවුල් හතළිහේ මූලිකයන් දෙදෙනකුට එක් ගවයෙක් බැගින්
ගවයන් විසි දෙනකු මස් පිණිස නොමිලේ පරිත්‍යාග කර ඇති බවට පොලිස් පරික්ෂණවලින් කරුණු අනාවරණය වී ඇතැයි කියති.
මෙසේ අවස්ථා කිහිපයකදීම ගවයන් පරිත්‍යාග කිරීම් සිදුකර ඇති බවට පොලීසියට දැනගැනීමට ඇත.


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)