වෙසක් දවසට බුදුගුණ ගීත ගැයෙන්නේ බෙග් මාස්ටර්ගේ හඩිනි. මොහිදින් බෙග් මාස්ටර්ගේ වියෝවෙන් පසුව ඒ ගීතවලට බොහෝ අවස්ථාවලදී  හඩ දායකත්වය ලබා දෙනුයේ ඔහුගේ පුත්‍රයකු වන ඉෂාක් බේග්ය. අපි ඔහුව මෙසේ සම්බන්ධ කරගමු.

රටේ පවතින වාතාවරණය නිසා මෙවර අන් වෙසක් දින මෙන් ඔබටත් ගීත ගායනයෙන් දායක වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ?

 ඔව්. අනෙකුත් වසරවල සිංහල අලුත් අවුරුද්ද වෙසක්, පොසොන් වැනි උත්සව සමරන අවස්ථාවල ප්‍රසංග බොහෝ ප්‍රමාණයකට මට ආරාධනා ලැබෙනවා. ඒ වගේම මම සහභාගි වෙනවා. වෙසක් සහ පොසොන් වෙනුවෙන් තිබෙන ප්‍රසංගවලට මම තමයි වැඩි වශයෙන්ම ආරාධනා ලබන ගායකයා බවට පත්වෙන්නේ. ඒ සියල්ල සිදු වුණේ මේ රට යහපත් විදිහට පවතින විට. නමුත් දැන් ඒ දේවල් නැතිවෙලා. මෙවැනි උතුම් දවස්වල සැමරුම් සීමා කරන්න වෙලා තිබෙනවා. කිසිම ප්‍රසංගයක් මේ කාලයේ සංවිධානය වුනේ නැහැ.

රට තුළ ඇති වූ ප්‍රශ්නයෙන් පසුව බොහෝ ප්‍රසංග අවලංගු වුණා,ඉදිරි ප්‍රසංගත් බොහෝ ප්‍රමාණයක් නතර වී තිබෙනවා, රටේ තත්වය යහපත් අතට එන තුරු කලාකරුවන් ලෙස අප බලා සිටිනවා.
මාධ්‍ය නාළිකා මගින් තමයි මම ගීත ගායනා කරන කටයුත්ත සිදුකරන්නේ, ඒ සඳහා මේ වනවිට මට ආරාධනා ලැබෙනවා. ප්‍රධාන මාධ්‍ය නාළිකාවල බැති ගී සඳහා මට මේ වනවිට ආරාධනා කරනවා.

මේ ඇතිව තිබෙන තත්වය තුළ මිනිසුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔබේ අදහස සඳහන් කළොත්?

මේ සිදුවූ සිදුවීම අපි හෙළා දකිනවා. එය කුමන ආගමකින් සිදුවුණත් වැරදියි. කුඩා ළමයින් ඉලක්ක කරගෙන, කාන්තාවන් ඉලක්ක කරගෙන මේ කටයුත්ත කළේ. මෙලෙස සිදුකරන්න කියා කිසිම ආගමක සදහන්ව නැහැ. ඉස්ලාම් බෞද්ධ, ද්‍රවිඩ මේ කුමන ජාතිකයෙකුගෙන් සිදුවුණත් එය සමාව නොදිය යුතු දෙයක්. මේ රටේ අපිට නැත්තේ මොකක්ද? මේක සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් රටක්. අපේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක් වුණත් බෞද්ධ ගීත ගායනා කරලා මිනිසුන්ගේ හිත දිනාගත් පුද්ගලයෙක්. මමත් මේ ක්‍ෂේත්‍රයට ආවට පස්සේ එලෙසම බෞද්ධයන් සමගින් කටයුතු කළා. ඇත්තටම ම් සිදුවූ දෙය ගැන තිබෙන්නේ කනගාටුවක්. ටික දෙනෙකු එක්ව සිදුකළ දේ මිනිසුන් කොට්ඨාසයකටම එයට මුහුණ දෙන්න සිද්ධ වුණා. මම බෞද්ධ ජනතාවගෙන්  සමාව ඉල්ලනවා. ඒවගේම සැම දෙනා  සමගින් සහයෝගීව කටයුතු කරන්න කියලා  තමයි මම කියන්නේ

ඔබේ පියාගේ නිර්මාණකරණය දෙස බලද්දී ඒ සහයෝගීතාව ඔවුන් අතර තිබුණු අවබෝධය දකින්න පුළුවන්, ඔහුගේ වියෝවෙන් පසු ඔබත් ඒ ගමන් මගට පිවිසෙනවා?

අපිට ඉගෙන ගන්න බැරි දේවල් මගේ පියාගේ ගීතවලින් මම ඉගෙන ගත්තා. මනුෂ්‍යත්වය කියන්නේ මොකක්ද ? ධර්මය කියන්නේ මොකක්ද? මේ සියලු දේ අපි ඉගෙන ගත්තා. මේ කුමන ආගමකින් වුණත් යහපත් මිනිසෙක් වෙන්න බැරි නම් ජීවත් වෙලා වැඩක් නැහැ, මනුස්සකම තියන්න ඕන. මගේ දුක තව කෙනෙක් හඳුනා ගන්න ඕන. තව කෙනෙකුගේ දුක මම හදුනා ගන්න ඕන. ඒ දේ නොමැති නම් කිසිම ආගමක්, ධර්මයක් නිවැරදි දර්ශනයක් නෑ. එවිට තිරිසන් මිනිසුන් විතරයි ඉන්නේ. මගේ පියා හොඳ ඉස්ලාම් භක්තිකයෙක්. ඔහු මේ රටට හොද නිර්මාණ ටිකක් කළා.

අපිව හොඳ පුරවැසියන් බවට පත්කරන්න හොඳින් උගන්වන්න ඔහු ගොඩක් මහන්සි වුනා. ඉන්දියාවේ ඉපදුණාට ලංකාව මගේ රට, මේ රට දාලා මම කොහේවත් යන්නේ නැහැ.මගේ ළමයින් දරුවන් බිරිද හැමෝම ඉන්නේ මේ රටේ කියලා රට ගැන ආදරයයන් ඔහු කතා කළා. ඒවගේම මට කිව්වා අන්තිම සිංහල මිනිහෙක් ඉන්නකන් උඹලා බඩගින්නේ ඉන්නේ නැහැ කියලා. ජීවත්ව සිටියදීත් කිසිම උදව්වක් ඔහුට හිමි වුණේ නැහැ. අදටත් ඔහුට කිසිම උපහාර උළෙලක් නැහැ. නමක් භාවිතා කරන්නේ නැහැ. මෙවැනි කාලයකදී තමයි බෙග් මාස්ටර් ගැන කතා කරන්නේ. එහෙම වුණත් අදත් මම ඉන්නේ පියා හිටපු තැනමයි. තාත්තා නැති වුණාට පස්සේ තාත්තා නතර කළ තැන ඉඳලා මම පටන් ගත්තා. සියලු දෙනා මිතුරන් සේ ඉන්නවා, ජාති,ආගම් භේද අපි අතර නැහැ.සියල්ලන් සමගින් ඉඳන් කටයුතු කරනවා. අපි එලෙසින් කටයුතු කළ යුතුයි.

පසුගිය දෙසැම්බර් මස ඔබේ පියාගේ සැමරුම් උළෙලක් කරන්න අපේක්ෂා කරත් එය සිදුකරන හැකියාවක් ලැබෙන්නේ නැහැ?


පසුගිය වසරේ දෙසැම්බර් පස්වැනිදාට මගේ පියා ජීවතුන් අතර සිටියා නම් ඔහුගේ සියවැනි ජන්ම දිනය ලබනවා. ඒ වෙනුවෙන් තමයි මම මේ සැමරුම් උත්සවය සිදුකරන්න යොමු වුණේ. නමුත් මට එය කරගන්න බැරි වුණා. ඒ වෙද්දි රට තුළ රාජ්‍යය මට්ටමිනුත් ප්‍රශ්න ඇතිව තිබුණා. අගමැතිවරයා කවුද කියන ප්‍රශ්නය මතුවෙලා බොහෝ දේවල් අඩාළ
වෙලා පැවතුණා. මේ දේවල් නිසා රාජ්‍යය අංශයෙත් මට මේ සැමරුම් උළෙලට උපකාර ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ ගැන මට දුක හිතුනා. මම ඒ ගැන මාධ්‍යයවලින් කිහිප වරක් සඳහන් කළා. ''සියත'' නාළිකාව මගින් එය මේ වසරේ සිදුකරනවා කියලා පොරොන්දු වුණා.

ඔබේ පියා ගායනයන් දායක වූ ගීත බොහෝ ප‍්‍රමාණයක් තිබෙනවා. අද වනවිට මේ ගීත කොහේ හෝ සංරක්ෂණය වී පවතිනවද?

එහෙම නැහැ. ගුවන්විදුලි සංස්ථාවෙවත් ඒ ගීත සංරක්ෂිතව නැහැ. නිතරම ඇහෙන ගීත කිහිපය පමණයි තිබෙන්නේ, පියා කළ ගීත එකිනෙකා මුදල් දී  ගෙන ගොස් තිබෙනවා.
මේ නිසා එක එක පුද්ගලයන් ළඟ තමයි ගීත තිබෙන්නේ. හැම කෙනෙකුටම මේ ගීත අහන්න හැකියාවක් නැහැ. සමහර අවස්ථාවල එහම මුදල් දිලා ගීත ගන්න අය සිඩි තැටිවල ඒ ගීත අන්තර්ගත කරලා අලෙවි කරනවා. බෙග් මාස්ටගෙන් හම්බ කිරීමක් තමයි බොහෝ අවස්ථාවලදී සිදුවුණේ.

එය තමයි ඔබටත් සිදුකරන්න සිද්ධ වෙලා තියෙන්නේ?


මමත් ගීත බොහෝ ප්‍රමාණයක් නිර්මාණය කර තිබෙනවා. මගේම ගීත දාහතරක් මුලින්ම සිදුකළේ මීට අවුරුදු විස්සකට පෙර. නමුත් ඒ ගීත ප්‍රචාරය කරන්න මාධ්‍යවලින් මට සහයෝගය දුන්නේ නැහැ. මගේ අලුත් ගීත එකක්වත් ප්‍රචාරය වෙන්නේ නැහැ. මම  තාත්තාගේ ගීත ගායනා කරමින් තමයි සිටින්නේ. මාධ්‍යයවලට ගියාම නිතරම අහන්නේ අලුත් ගීත නැද්ද කියලා. මගේ ගීත දෙසීයක් පමණ තිබෙනවා. නමුත් එහෙම සඳහන් කළාම කිසිවක් නොකියා ඉන්නවා. ප්‍රචාරය කරන්නෙත් නැහැ.

"මහරජ අජාසත්ත'', ''සිරිදළදා ගමනය'', ''ඔන්න බබෝ'', ''සැලමුතුපින්න'' වැනි චිත්‍රපටවලත් පසුබිම් ගීත මම ගායනා කළා. ඒ ගීත සාර්ථක වුණා. නමුත් ඒ ගීත ඇහෙන්නේ නැහැ.

 එළිමහන් සංගීත ප්‍රසංගවලට ගියත් මගේ පියාගේ ගීත තමයි ඉල්ලන්. තාත්තගේ ගීත නිසාම තමයි මම ප්‍රසංග වේදිකාවට ගෙන එන්නේ. අපේ ගීත නැහැ කියලා බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඉල්ලුම නිසා පියාගේ ගීත ගායනා කරනවා. අපිට වෙන ගීත කරන්න හැකියාව නැහැ, පියාගේ ගීත ගායනා කිරීම ගැන ආඩම්බර වෙනවා. මගේ නිර්මාණත් එක්කම ඒ ගීත ගායනා කරන්න තිබෙනවා නම් මම තවත් සතුටු වෙනවා. එහෙත් එහම ඉඩක් ලැබෙන්නේ නැහැ.

ඒ බව දැන දැනත් තමයි ඔබ වෘත්තීමය ගායකයෙකු ලෙසින් කටයුතු කරන්න යොමු වෙන්නේ?

තාත්ත නැති වුණාට පස්සේ මම ක්‍රිකට් සෙල්ලම් කළේ. මම ක්‍රිකටි ටීම් එකක කටයුතු කළා. ඒ අතර ගායනා  කරන්න යොමු වුණා. ජනතාවට ගායකයෙක් ඕන වුණා. ජනතා ඉල්ලුම නිසා ආවා. තාත්තා කිසිම දිනක මට ගායකයෙක් වෙන්න කියලා නැහැ. මම කරපු රස්සාව කරන්න එපා කියලා තමයි ඔහු කිව්වේ. මගේ දරුවටත් මම කියන්නේ මේ රස්සාවම කරන්න එපා කියලා. අපි හොඳ දේවල් කරන්න ආවත් අපිට කරන්න දෙන්නේ නැහැ. මේ නිසා අපේ හිත් කලකිරීමට පත්වෙනවා. යමෙකුට ඉෂාක් බෙග් මහතාව සම්බන්ධ කර ගැනීමට අවැසි නම් 0766788177 යන දුරකථන අංකයෙන් ඔහුව සම්බන්ධ කරගත හැකිය.


 -නිදුක් මදුෂිත-