පසුගිය දින වලදී සමාජ ජාලා වල ඉතා විශාල වශයෙන් බුර්කාව තහනම් කිරීමට අදාලව අදහස් හුවමාරු වූ අතර ඒ නිසාවෙන් රජය එය හදිසි නීතිය යටතේ තහනම් කිරීමට කටයුතු කරන ලදී.කෙසේ නමුත් ඊට අදාළ ගැසට් පත්‍රයක් මෙතෙක් මුද්‍රණය කර නොතිබූ අතර මේ වන විට එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.



ඒ අනුව අදාළ ගැසට් පත්‍රය මගින් යම් තැනැත්තෙකු, කණ්ඩායමක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ නිශ්චිතව දක්වනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවක් සාක්ෂාත් කර ගැනීම උදෙසා වෙනත් යම් ක්‍රියාකාරකමක නිරත නොවිය යුතු අතර මේ නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියාකරන ඒ යම් තැනැත්තකු හෝ තැනැත්තන් කණ්ඩායමක් වරදකට වරදකරු වන අතර මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලබූ විට වසර දහයකට නොඅඩු සහ වසර විස්සකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් විය යුතුය යනුවෙන් දක්වා ඇත.

මේ අතර කිසිම තැනැත්තෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයක දී ඒ තැනැත්තා හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි පරිදි ඒ තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවාලනු ලබන යම් ඇඟලුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය යුතුය යනුවෙන්ද විස්තරාත්මක අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

“සම්පූර්ණ මුහුණ” යන යෙදුමේ අර්ථ නිරූපනය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපනය ආදේශ කිරීමෙන්, “සම්පූර්ණ මුහුණ” යන්නෙන් නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වා ද දෙකන් අතරද (එහෙත් දෙකන් නො ඇතුළත්ව) යම් තැනැත්තෙකුගේ මුහුණ අදහස් වේ යනුවෙන් දක්වා තිබෙනවා.