බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ නීති විරෝධි නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා තමා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් මාරු කරනු ලැබූ බවට වී.කේ.ඒ. අනුර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කරමින් සඳහන් ඇත.

සිය ස්ථාන මාරුවට
ආණ්ඩුකාරවරයා කෙළින්ම මැදිහත්වූ බව ඊට මුල්වූ රාජ්‍ය නිලධාරින් සඳහන් කර ඇතැයි ද ආණ්ඩුකාරවරයා එම තනතුරට පත්වූ දා පටන්ම නීති විරෝධී ක්‍රියාවන් ඉටුකර ගැනීම සඳහා තමාට විවිධ බලපෑම් කළ බවද  අනුර මහතා කියා සිටී.

ආණ්ඩුකාරවරයාගේ මෙම නීති විරෝධි ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිසා තමා අසාධාරණ ලෙස මාරුකර යවා ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙම ආර්ථික කටයුතු හා පොදු සැපයිම් අමාත්‍යංශයට තමාට ලබාදී ඇති ස්ථාන මාරුව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත් නොවන බවද තමාට වඩා ජ්‍යෙෂ්ඨත්වයන් අඩු නිලධාරීන් රැසක් එහි ඉහළ නිලතල හොබවන බැවින් එම ස්ථාන මාරුවීම
නොපිළිගන්නා බවද අනුර මහතා කියා සිටියේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්ගේ ස්ථාන මාරු අභියෝගයට අනුව බස්නාහිර පළාත් සභා ලේකම්වරයාගේ (CSWP/PTR/2-2/F1/6G) දරන 2016.05.28 දිනැති ලිපියෙන් කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා ආර්ථික කටයුතු සහ පොදු සැපයීම් අමාත්‍යංශයට වහාම ක්‍රියාත්මක  වන පරිදි ස්ථාන මාරුකර තිබුණි.