ඉරානයේ අල් මුස්තාපා විශ්වවිද්‍යාලය නමින් ඌව පළාතේ පාසල් 04ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරන එම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා ඌව පළාත තුළ ක්‍රියාත්මක කිරීම තහනම් කිරීමට ඌව පළාත් සභාව ඒකමතිකව තීරණය කර තිබේ. මෙම තීරණයට එළඹියේ ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන ඇමති සෙන්දිල්
තොන්ඩමාන් මහතා විසින් පළාත් සභාවේ පසුගිය අර්ධ මාසික මහ සහා රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අදාළව විවාද කිරීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේදීය.

යෝජනාව ඉදිරිපත් කරමින් සෙන්දිල් තොන්ඩමන් මහතා පැවසුන්වේ, අල් මුස්තාපා විශ්වවිද්‍යාලය ඌව පළාතේ පාසල් හතරක (04)
ගොඩනැගිලි හා පාසල් පරිශ්‍රය අනවසරයෙන් භාවිත කරමින් සතිඅත්ත දිනවලදී පැවැත්වෙන්නක් බවයි. එම විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා යටතේ උගන්වනු ලබන විෂය නිර්දේශයේ ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අදහන ආගමික මූලධර්මවලට පවා පටහැනි කරුණු උගත්වන බවට පැමිණිලි ලැබී ඇතැයි පැවසූ ඇමතිවරයා, පාඨමාලා පැවැත්වීමට යොදා ගන්නා පාසල් පාවිච්චි කිරීම සඳහා අදාළ රජයේ අධ්‍යාපන බලධාරීන්ගෙන් නිසි අවසරයක් ලබාගෙන නොමැති බවත් මේ ආකාරයට එම පාසල්වල අවුරුද්දක පමණ කාලයක් පාඨමාලාවන් පවත්වා තිබෙන බවත් පෙන්වා දුන්නේය.

මේ පාඨමාලා පිළිබදව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙතින් විමසීමේදී හෙළිදරව් වූයේ එවැනි විශ්ව විද්‍යාලයකට කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් විමසූ විට රාජ්‍ය සේවයට බදවා ගැනීමේදී එවැනි පාඨමාලා අදාළ කර නොගන්නා බවද අනාවරණය විය.