පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට ආ සරණාගතයන්ගෙන් පිරිසක් ජීවිතාරක්ෂාව වෙනුවෙන්  පූන්තෝට්ටම පුනරුත්ථාපන කඳවුරට රැගෙනවිත් ඇති බවටත් එම පිරිස් ඉතා සුළු කාලයකින් නැවත හිටපු
රටටම හෝ තුන් වැනි රටකට
යැවීමට රජය පියවර ගනිමින් සිටින බවටත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් ජානක රත්නායක මහතා කියා සිටියේය.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියේ ඊයේ (22) පූන්තෝට්ටම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට ස්වයං රැකියා වෙනුවෙන් ආධාර ලබා දීමේ වැඩසටහනකට  සම්බන්ධ වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේන්ජර්  ජෙනරල් ජානක රත්නායක මහතා මෙසේද පැවසීය.

"මේ සරණාගතයින් ගෙනාවේ පුනරුත්ථාපනය කිරීමට  නොවෙයි. ජීවිත ආරක්ෂාව සඳහායි. මේ අය උපරිම  වුණොත් තවත් මාසයක් දෙකක් මෙහෙ ඉඳියි. ඉන් පසුව  මේ අය නැවත ඒ අයගේ රටට හෝ පුරවැසිභාවය ලබාගෙන තුන් වැනි රටකට යැවීමට රජය පියවර ගනියි කියල විශ්වාස කරනවා."

-ශේෂලා කංකානම්ගේ-