නියමිත වීසා කාලසීමාව ඉක්ම ගොස් තිබියදී මෙරට රුඳී සිටින පුද්ගලයන් 9,786 දෙනෙකු පමණ ශ්‍ රීලංකාවේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම පිරිසෙන් 50%ක් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් ව්‍යාප්තව සිටින ප්‍රදේශවලින් පැමිණ පුද්ගලයන් සිටින බවද ඔහු කීය.

එමෙන්ම ඊටඅමතරව ශ්‍රීලංකාවට රැකවරණය පතා පැමිණි පුද්ගලයින්  1,670ක් සිටින බවටද වාර්තා වීඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේ ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේදීය.

“ශ්‍රීලංකාවේ නීතිවිරෝධීව
ඉන්න අයගෙන් 50%කින් පැමිණ තිබෙන්නේ අයි.එස්.අයි.එස්. සිතියමේ සඳහන් කලාපයෙන්. යේමනය, පලස්තිනීය, සුඩානය, ඉරානය, රටවලින්. රැකවරණය පතා ආපු අය මීගමුවේ 1,000ට වැඩි පිරිසක් ඉන්නවා. ඔවුන් වසර 05ට වැඩිය මේ රටේ ඉන්නවා. එහෙම ඉන්න පුළුවන්ද?  මේ සම්බන්ධයෙන්  කඩිනම් පියවරක් ගන්න."

මෙයට පිළිතුරුදුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා,

“2016, 2017 සහ 2018 වසර තුන තුළදී මෙම කාලසීමාව තුළ ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින පුද්ගලයන්ගේ සුළු වර්ධනයක් නිරීක්ෂණය වෙනවා.මෙයට යම් යම් හේතු බලපෑ හැකියි. ඒ පිළිබඳ ආරක්ෂක අමාත්‍යාංශය විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදෙනු ලබන ජාත්‍යන්තර ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන්ගේ විස්තර මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අසාදු ලේඛනගත කරන පුද්ගලයන්ගේ විස්තර ඇතුළත් කරනු ලබනවා. එමනිසා එවැනි පුද්ගලයෙකු රටට ඇතුළු වන්නේ නම් එය වැළැක්වීමට පියවර ගනු ලබනවා."