පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් නිවාස 40 කට පමණ හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි පොළොන්නරුව දිස්ත්‍රික් සහකාර
අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා සඳහන් කළේ, දිඹුලාගල, ධම්මින්න, අරුණපුර, පිඹුරත්තෑව සහ නැගෙනහිර පිඹුරත්තෑව යන ග්‍රාමසේවා වසම්වල නිවාසවලට හානි සිදුව ඇති බවයි.
ඊයේ පස්වරු 5.30 ට පමණ අධික වර්ෂාවත් සමග මෙම සුළං තත්ත්වය ඇති වී තිබේ.
මේ වනවිට ප්‍රදේශයේ නිවාසවලට මෙන්ම මාර්ගවලට ගස් කඩා වැටී ඇති අතර ප්‍රදේශයේ විදුලිය බිඳ වැටීම් ද සිදුව ඇතැයි ඔහු සඳහන් කළේ ය.
යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, පොලීසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන බව නානායක්කාර මහතා සඳහන් කළේ ය.