ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය යටතේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස පුහුණුව ලත් මොහොමඩ් සහරාන්ගේ අනුගාමිකයන් 20 දෙනකු මේ වනවිට රහස් පොලිස් අත්අඩංගුවේ පසුවන බව
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගයන් සඳහන් කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු කළ දිර්ඝ විමර්ශනවලට අදාළව මෙම ත්‍රස්තයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් අන්තවාදී දේශන සහ පුහුණු කඳවුරු හරහා ඔවුන්ගේ ඔළු මරාගෙන මැරිම සඳහා වෙනස් කර ඇති බවද එම ආරංචි මාර්ගයන් පවසයි.

රැඳවුම් නියෝග මත මොවුනගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුවන බවත් විමර්ශනවලට අදාළ වැදගත් තොරතුරු රැසක් එම ත්‍රස්තයන්ගෙන් අනාවරණය වී ඇති බවත් ආරංචි මාර්ගයන් සඳහන් කරයි. පාස්කු ඉරු දින මොහොමඩ් සහරාන් ඇතුළු ත්‍රස්තයන් නවදෙනකු දිවයිනේ ස්ථාන අටක සිදුවූ පිපිරීම්වලින් මරාගෙන මැරෙන අතර මෙවැනිම ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වී සිටි සහරාන්ගේ පියා, සහෝදරයන් දෙදෙනා ඇතුළු තවත් ත්‍රස්තයන් පිරිසක් සයින්දමරුදු පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් විණි. මේ වනවිට මෙම විමර්ශනයන්ට අදාළව සැකකරුවන් 89 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් සැකකරුවන් 69 දෙනකු රඳවා  ඇත්තේ රහස් පොලිසියේය.

-චාමර අමරසුරිය-