වෙසක් සමයේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ මෙන්ම සුරාබදු බලපත්‍රධාරින් විසින් සිදුකරනු ලැබිය හැකි අක්‍රමිකතා සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දීප ව්‍යාප්තව කරන ලද මෙහෙයුම්වලින් පුද්ගලයන් 1,113 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඊයේ (21) නිවේදනයක් නිකුත්
කරමින් සුරාබදු දෙපාර්තමේන්තුවේ
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

මැයි මස 17, 18, 19 සහ 20 යන දිනවල සිදු කළ මෙම මෙහෙයුම සදහා දිවයින පුරා සුරාබදු නිලධාරීන් 1,200කට ආසන්න පිරිසක් සහභාගී වී තිබේ. මෙහිදී රුපියල් මිලියන අටකට ආසන්න වටිනාකමින් යුත් මත්පැන්, ස්ප්‍රීතු, ගෝඩා පෙරීමේ උපකරණ සොයා ගැනීමට සුරාබදු නිලධාරීන් සමත් වී තිබේ.

ඒ අනුව නීතිවිරෝධී මද්‍යසාර නිපදවීම් 34ක්, නීතිවිරෝධී මත්පැන් විකිණීම් 364ක්, නීති විරෝධී ලෙස නිපදවන ලද ස්ප්‍රීතු විකිණීම් 435ක්, නීතිවිරෝධී ලෙස නිපදවන ලද මත්පැන් විකිණිම් 24ක්, සීමාව ඉක්මවා මත්පැන් විකිණීම සහ ප්‍රවාහන සිදුවීම් 166ක්, වෙනත් වැරදි 2ක්,  කාර්මික අපරාධ 2ක්, ගංජා ළග තබා ගැනීමේ සිදුවීම් 38ක්, හෙරෝයින් ළග තබා ගැනීමේ සිදුවීම් 18ක්  වෙනත් මත්ද්‍රව්‍ය වැරදි 7ක්, නීතිවිරෝධී ලෙස ආනයනය කළ දුම්වැටි අලෙවි කිරීමේ සිදුවීම් 19ක් සහ ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීමේ සිදුවීම් 23ක් යටතේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

-දිනුක මලින්ද හේරත්-