https://www.gossiplankanews.com/2019/04/wellampitiya-brother-and-sister-story.html

“අපිට හිටියේ මේ දරු දෙන්නා විතරයි. අක්කයි මල්ලියි ලොකු බැඳීමකින් හිටියා. දෙන්නා එකතුවෙලා ගමන් බිමන් යනවා. මේ විපත වූ දවසේ භාරයක් වෙන්න කියලා කොටහේන දේවස්ථානයට ගියා. අපි බෞද්ධ වුණත් කොටහේන පල්ලියටත් යනවා. ඉක්මනින් එනවා කියලා ගෙදරින් එන ළමයි දෙන්නා මේ විදිහට එයි කියලා හිතුවේ නැහැ. මුළු ගෙදරම පාළුවෙලා. මේ දුක අපිට දරාගන්න බෑ..” යැයි ඉකුත් 21 වැනිදා ඉරිදා කොටහේන ශාන්ත අන්තෝනී දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය
වැල්ලම්පිටිය, වෙන්නවත්ත රණශූර මාවතේ පදිංචිව සිටි අක්කා මලෝ දෙන්නාගේ පියා වන එස්. එන්. සිරිමාන්න මහතා හඬමින් පැවසුවා.

සිරිමාන්න යුවළගේ වැඩිමහලු දියණිය මේධා තත්සරණි (23) හා පුතා ඉමාෂ් තිවංක (19) යන දෙදෙනා කොටහේනේ කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහාමාර්ග අමාත්‍යංශයේ රියදුරෙකු මෙන්ම දක්ෂ එල්ලේ ක්‍රීඩකයෙකු ද වන එස්. එම්. සිරිමාන්න මහතාට හා ඔහුගේ බිරිය ඩබ්. ශ්‍රීයාණි මහත්මියට සිටියේ මිය ගිය දරු දෙදෙනා පමණයි.


මෙම අනපේක්ෂිත අනතුරින් මිය ගිය ඔවුන්ගේ දුව කැළණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධි අපේක්ෂිකාවක් වන අතර පුතා සේදවත්ත සිද්ධාර්ථ මහ විදුහලේ උසස් පෙළ වාණිජ අංශයේ ඉගැනුම ලැබු සිසුවෙක්.

ඔවුන් ඉගැනීමට මෙන්ම බාහිර ක්‍රියාකාරකම්වලදී දක්ෂතා පෙන්වා තිබෙන අතර දරු දෙදෙනා භාරයක් වීම සඳහා දේවස්ථානයට ගිය බව මව පවසනවා.

“අපි දෙන්නා ඇස් දෙක වගේ මේ ළමයි බලාගත්තා… හොඳට ඉගැන්නුවා. මේ වගේ විපතකට මුහුණ දෙන්න වෙයි කියලා අපි හිතුවේ නෑ… වෙනදත් අක්කයි මල්ලියි මේ වගේ එකතුවෙලා ගමන් යනවා.. ගෙදර තියෙන මෝටර් සයිකලෙන් තමයි ගමන් යන්නේ. කරදරයක් නැතුව ගෙදර එනවා.. පල්ලියට ගිහින් එන්නම් කියලා ගෙදරින් ගියේ.. උදේ නවයට විතර ආරංචි වුණා කොටහේනේ බෝම්බයක් පත්තුවෙලා කියලා. මම ටීවි එක දාලා බැලුවා. කාරණේ ඇත්ත නිසා මම හොයලා බැලුවා.

මගේ දරුවන් දෙන්නත් කොටහේනට ගිය නිසා මම එයාලගේ ජංගම දුරකථනවලට කතා කළා.. නමුත් ඒ අය කතා කළේ නැති නිසා මම හිතුවා මොකක්හරි කරදරයක් වෙලා ඇති කියලා.. අපි ඉක්මනින් කොටහේන දේවස්ථානයට ගියා.. දරුවන් රෝහලට අරන් ගිය බව කිව්ව නිසා ජාතික රෝහලේ වාට්ටුවක් ගානේ ගිහින් හෙව්වා. කිසිම වාට්ටුවක නොහිටි නිසා රෝහලේ ඇවිද ඇවිද හෙව්වා.. දෙකහමාර විතර වෙනකන් හෙව්වා..”

“පොලීසියේ කෙනෙක් කිව්වා, මෘත ශරීරාගාරයෙත් බලන්න එන්න කියලා.. මගේ කකුල් දෙක වෙව්ලන්න ගත්තා. මම ගිහින් බැලුවම මගේ දරු දෙන්නා හිටියා. මට මේක අදහගන්න බැරිවුණා.. අනේ මගේ දරු දෙන්නා අපිව දාලා ගිහින්… අපි තනිවුණා.. ඇස් දෙක වගේ හිටිය ළමයි දෙන්නා… මවුපියන් වශයෙන් අපිට මේ දුක දරාගන්න අමාරුයි….”

විශාල පිරිසකගේ සෝ සුසුම් මැද පෙරේදා (24) දින හිරු බැස යන සැදෑ සමයේ කොහිලවත්ත පොදු සුසාන භූමියේදී මොවුන් දෙදෙනාගේ සිරුරු මිහිදන් කෙරුණා.
(සටහන -ශාන්ත සෙනෙවිරත්න)