විල්පත්තු ජාතික වනෝද්‍යානය ආසන්නයේ එළි කරන ලද කලාපයේ මිනිස් වාසය සඳහා කිසිසේත්ම සුදුසු වාතාවරණයක් නොමැති බවත් වසර 25ක පමණ කාලයක් තිස්සේ යුද්ධය නිසා කැලැවට පත්වූ ප්‍රදේශවල
මිනිසුන්ට ජීවත් වීමට තරම් සුදුසු යටිතල පහසුකම් කිසිවක් නොමැති බවත් තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටුව පෙන්වා දෙයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතියේ ආධිපත්‍ය කමිටුව විසින් විල්පත්තු ජනාවාසකරණ ගැටලුව සම්බන්ධයෙන් 2015 වසරේදී කරන ලද ස්ථාන පරික්ෂාවේ සහ සාකච්ඡා මණ්ඩපයේ වාර්තාව මගින්
මේ බව පෙන්වා දුන් බව තරුණ නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජික, නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (3) පැවසීය.

මෙම වාර්තාව මධ්‍යම පරිසර අධිකාරියට, වනජීවි දෙපාර්තමේන්තුවට සහ පරිසර අමාත්‍යාංශයේ  ලේකම්වරයාටද යවා තිබේ. වසර 25ක් තිස්සේ කැලැබද වූ ප්‍රදේශ වනසතුන්ගේ ස්ථිර වාසස්ථාන සහ ජීවන රටාවන්ට අනුකූල ලෙස සකස් වී ඇති බවත් පරිසරය එළි කිරීමත් සමඟ සතුන්ගේ ජීවන රටාව  සම්පුර්ණයෙන්ම විනාශ වී යන බවත් එම වාර්තාවේ සදහන් වේ. කල්ලාරු උතුර අලිමංකඩ අවහිර කරමින් ඉදිකර ඇති නිවාස ඉවත් කර එම ප්‍රදේශවල නැවත වන වගාව සිදුකර අලින්ට සුදුසු ජීවන රටාවක් තුළ ජීවත් වීමට අවශ්‍ය පාරිසරික තත්වයක් ඇති කළ යුතු බවද එහි සඳහන් වේ.

එසේම විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කිසිදු ආකාරයක වන විනාශයක් හෝ ජනාවාසකරණයක් සිදු වී නොමැති බවත් කැලෑ කපා ඇත්තේ විල්පත්තුව ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශයක් වන කල්ලාරු රක්ෂිතයේ සහ පෙරියමඩු ප්‍රදේශයේ බවත් එම වාර්තාවේ සදහන් වේ. කල්ලාරු රක්ෂිතයේ සහ මඩු අභය භූමිය ආශ්‍රිතව සිදු වන වන විනාශය නැවැත්වීමට සහ නැවත පදිංචි කරන ලද ජනතාවගේ ගැටලු විසදීමට රජය මහා මැදිහත් විය යුතු බවත් එසේ නොවුණහොත් හෝ රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමාද වුවහොත් ජාතිවාදීන් විසින් මෙම ගැටලු වාසියට යොදාගෙන ජාතිවාදී අරමුණු ඉටුකර ගැනීමට කටයුතු කිරීමේ අවධානමක් ඇති බවත් එම වාර්තවේ නිගමන ලෙස වැඩිදුරටත් සඳහන් වේ.


-රසිකා හේමමාලි-