මඩකලපුව, වවුනතිව්හිදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයට අයත් ක්‍රියාවක් බවත් ඊට අදාළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රාජකාරි ගිනි අවි වන රිවර්වර දෙකද සැකකරුවන්ගේ ප්‍රකාශ මත සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ (2018) නොවැම්බර් 30 වැනිදා වවුනතිව් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරීයේ
යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩිතබා හා තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබූ බවද හෙතෙම පවසා සිටියේය. මේ පිළිබඳ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් සිදු කරන ලද බවත්,එම විමර්ශනවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


එසේම ඉකුත්  මස 09 වැනිදා මාවනැල්ල පොලිස් වසමේ ධනාගම් ප්‍රදේශයේදී මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් නමැත්තාට (අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ලේකම්) වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේද මෙම ඝාතනය කරන ලද පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකුගේ නිල ගිනි අවිය බට ද අනාවරණය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම සැකකරුවන් අතර මෙම සැකකරුවන් තිදෙනාදා සිට ඇතැයි ඒ මහතා පවසා සිටියේ.

-ඉන්දික හේවාවිතාරණ-