යුක්රේනයේ පැවති ජනපතිවරණයෙන් ව්ලැද්මියර් සෙලෙස්කි නමැති විකට නළුවා විශාල බහුතරයකින් ජයග්‍රහණය කර තිබේ.  ඔහු ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 73 කි.
හිටපු ජනපති පෙට්‍රො පොරොෂෙන්කො නැවත ජනපති වීමට දැරූ උත්සාහය මේ අනුව පරාජයට පත්ව ඇත.
ව්ලැද්මියර් සෙලෙස්කි නමැති 41 හැවිරිදි
විකට නළුවා පෙර දේශපාලනය සිදු කළ අයෙකු නොවීය.
එරට ඉතා ජනප්‍රිය උපහාස කතාමාලාවක් රඟ දැක්වූ ඔහුට  Kvartal 95 නමැති රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතනයක්ද අයිතිව තිබේ.
ඔහු පසුගිය කාලයේ හිටපු ජනපති පොරොෂෙන්කොව සිය දේශපාලන උපහාස වැඩසටහන ඔස්සේ දරුණු විවේචනයන්ට ලක් කළේය.
ඔහු එක්වරම ජනතා ආකර්ෂණයට පත්ව ඇත්තේ ඔහු ජනතා විරෝධයේ කොටස්කරුවෙකුවී රංගනයේ නිරතවීම නිසාය. රුසියාව සමග පවතින සබඳතා ගැටලු යුරෝපා කොමිසම හා නේටෝව සමග ගැටලු ආදිය නිසි ආකාරව විසඳීමට අපොහොසත්වීම නිසාත් දූෂණ සිද්ධි කිහිපයක් නිසාත් හිටපු ජනපතිවරයාගේ ජනප්‍රියත්වය පහතවැටී තිබුණි. ඒ අනුව සෙලෙස්කිට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි විය.