පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ජනතාව නොමග යැවීමට උත්සාහකර ඇති බවට පවතින නඩුවෙන් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කර තිබේ.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර තිස්ස අත්තනායක ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් සිදුවූ අපහසුතාවය සම්බන්ධව සමාව ඉල්ලීම හේතුවෙන් විනිසුරුවරයා මෙම නියෝගය ලබාදී ඇත.

විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග
ඉන්දතිස්ස මහතා කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වී තිබෙන ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් පැමිණිලිකාර රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යන මහත්වරුන්ට  යම් අපහසුවක් හෝ පාඩුවක් සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් විත්තිකරු සමාව අයද සිටින බවත් මින් මතුවට විත්තිකරු මේ ආකාරයේ ලේඛන ඉදිරිපත් කිරීමක් නොකරන බවටත් ප්‍රකාශ කර සිටියේය.

එම සමාව ඇයදීම සම්බන්ධව රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරුන් විරෝධය පළකිරීමක් සිදු කළේ නැත.

මෙම නඩුව සම්බන්ධයෙන්  විත්ති සහ පැමිණිලි පාර්ශවය අතර යම් සංහිඳියාවක් ගොඩනැගී ඇති බවත් විත්තිකරු මෙම වරද සම්බන්ධයෙන් පශ්චාත්තාප වීමක් සිදුවන බව පෙනී යන හෙයින් මෙම නඩුව අධිකරණයේ අභිමතය පරිදි අවසන් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් පවතින බවට ව්‍යාජ ලේඛනයක් සකස්කර එය මාධ්‍ය හමුවකදී ප්‍රධර්ශනය කිරීමෙන් ජාතීන් අතර සුහදතාවය කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීමත් එය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම පැමිණිල්ල සිදුකර තිබිණි.