බෝම්බ සවිකළ ලොරියක් හොරණට පැමිණ ඇති බවට ජංගම දුරකථනයක කෙටි පණිවුඩයක් ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් කළ බව කියන මොරටුව නගර සභාවේ ලේකම්වරයා පෙරේදා(23දා) පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගෙන මුදාහැරී බව හොරණ පොලිසිය කියයි. එලෙස කෙටි පණිවුඩ යවන ලද ලේකම්වරයාගේ ජංගම
දුරකථනය පොලිසිය භාරයට ගත් බව පොලිස් නිලධාරියකු පැවැසීය. බෝම්බ සවිකළ ලොරියක් හොරණට පැමිණ ඇති බවට කෙටි පණිවුඩයක් තම ජංගම දුරකථනයට ලැබුණු බව කාන්තාවක් පොලිස් හදිසි ඇමතුම් අංශය (119) හරහා හොරණ පොලිසියට කරන ලද දැනුම් දීමක් අනුව කළ විමර්ශනවලදී එලෙස කෙටි පණිවුඩයක් යොමු වී

ඇත්තේ පොල්ගස්ඕවිට දකුණ පදිංචි පුද්ගලයකුට අයත් දුරකථනයකින් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.

ඒ අනුව පෙරේදා (23දා) සවස පොලිසියට එම පුද්ගලයා කැඳවා සිදුකළ පරීක්ෂණයේදී මොරටුව නගර සභාවේ ලේකම්වරයා බවට හෙළිවූ බවත් ඔහු සතුව තිබූ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී එම කෙටි පණිවුඩය දැක ගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි. සීදූව ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල් මිතුරකුගෙන් ලද එම කෙටි පණිඩුවය හොරණ හා ඒ අවට ප්‍රදේශයන්හි දන්නා හඳුනන අයගේ දුරකථනවලට  යොමු කළ බව ලේකම්වරයාගෙන් ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් හෙළි වූ බව පොලිස් නිලධාරියකු වැඩිදුරටත් පැවැසීය.

-එම්.සී.පෙරේරා-