අනුරාධපුර, රඹෑව, ගෝනෑව සිරි දේවමිත්ත ප්‍රාථමික විද්‍යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට මාර්ගය අසල තිබී ඊයේ (24) උදෑසන 7.00ට පමණ අත්බෝම්බයක් හමුවූ බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

එම මාර්ගයේ ගමන් කළ ප්‍රදේශයේ  තරුණයකු මුලින්ම මේ අත්බෝම්බය දැක ඒ බව ඒ අවට නිවෙස්වල
පදිංචිකරුවන්ට දැනුමදී අනතුරුව පොලිසියට දැනුම්දී තිබිණි. එම දැනුම්දීම අනුව පැමිණි පොලිසියේ නිලධාරීන් ආරක්ෂක ක්‍රියා මාර්ගයක් වශයෙන් වැලිකොට්ට යොදා අත්බෝම්බය ආවරණය කර පොලිස් විශේෂ කාර්ය බළකායේ අනුරාධපුර කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත දැනුම්දී තිබිණි.

කවරකු විසින් කුමන චේතනාවකින් මෙම අත්බෝම්බය පාසල් ප්‍රධාන පිවිසුම ඉදිරිපිටට ගෙනැවිත් දැමුවේද යන්න පැහැදිලි නැතත් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මෙම විද්‍යාලය දෙවැනි පාසල් වාරය සඳහා ඊයේ (24) උදේ ආරම්භ කළේ නම් විශාල විනාශයක් සිදුවීමට ඉඩ තිබූ බව පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ මව්පියෝ පවසති.

පරසන්ගස්වැව පොලිසිය මේ පිළිබඳව සිදුකරන පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ පාසල් ආරක්ෂාවට යොදවා සිටින උතුරු මැද අධ්‍යාපන දෙපාර්තමේන්තුවින් වැටුප් ලබන මුරකරුවන් දෙදෙනාම පෙරේදා (23) රාත්‍රියේ සේවය සඳහා පැමිණ නැති බවය.  සිරි දේවමිත්ත ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි ගීතා ප්‍රියදර්ශනී කරවිට මහත්මිය ප්‍රකාශ කළේ පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන සිය පාසලේ කුඩා සිසු සිසුවියන් 400ක් පමණ ඉගෙනුම ලබන බවයි.

පාසලේ සිටින මුරකරුවන් දෙදෙනාගෙන් පෙරේදා රාත්‍රියේ රාජකාරිය පැවරි තිබූ මුරකරු සේවයට වාර්තාකර නොතිබූ බවත් ඔහු සේවයට නොපැමිණෙන බව තමන්ට දැනුම් නොදුන් බවත් විදුහල්පතිනිය වැඩිදුරත් පැවසුවාය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් දහවල් පැමිණ ආරක්ෂාකාරීව බෝම්බය නිශ්ක්‍රීය කර තිබිණි.