https://www.gossiplankanews.com/2019/04/richmond-st-thomas-fight.html#more
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති සිංගර් කුසලානය සඳහා පවත්වන අන්තර් පාඨශාලීය 19න් පහළ සීමිත පන්දු වාර අවසන් ක්‍රිකට් තරගාවලියේදී ශාන්ත තෝමස් විද්‍යාලය ඊයේ ශූරතාවය හිමිකර ගත් අතර අනතුරුව පිටියට කඩා වැදුණු රිච්මන්ඩ් කණ්ඩායමේ
ආධාරකරුවන් 200 පමණ පිරිසක් සාන්ත තෝමස් ක්‍රීඩකයන්ට මුගුරුවලින් පහර දීමට පටන් ගත් අතර පසුව සිද්ධිය පාලනය කිරීමට ගාල්ල පොලිසිය කැඳවීමට තරඟ සංවිධායකයන්ට සිදුව තිබේ. ප්‍රහාරයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රීඩකයන් රැසකට තුවාල සිදුවී ඇති අතර පහර දීමට ලක්වූ පිරිස අතර සාන්ත තෝමස් විද්‍යාලයේ

ක්‍රිකට් භාර ආචාර්යවරයාද සිටී.

මෙම ක්‍රිකට් තරඟාවලියේ පසුගිය දෙවසර තුළම ශූරතාවය දිනා ගනු ලැබුයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායම වන නමුත් මෙවර එහි ශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම හිමිකර ගත්හ. මීට පෙර දෙවිදුහල් අතර මෙවැනි තරග පවත්වා ඇති නමුත් මෙවැනි තත්ත්වයත් උද්ගත වුයේ පළමු වතාවට බව වාර්තා වේ.

ගැටුම පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව පාසල් ක්‍රිකට් සංගමය පවසයි.  ලේකම් ඩිල්ෂාන් ද සිල්වා ප්‍රකාශ කළේ
‘පාසල් ක්‍රිකට් සංගමය තමයි තරගය සංවිධානය කළේ. රිච්මන්ඩ් ක්‍රීඩාංගණයේ මේ තරගය තිබුණේ. තරගය නරඹන්න පාසල් දෙකේම ප්‍රේක්ෂකයන් එක්වුණා. ඒ අතරින් වැඩිම පිරිසක් හිටියේ රිච්මන්ඩ් විද්‍යාලයට සහය දක්වමිනුයි. තරගය අවසන් අදියරට එද්දී අපි දැක්කා ඇතැමුන් බීමතින් හැසිරෙනවා. නමුත් අපි තරගයේ ආරක්ෂාවට පොලිිසිය යොදවලා තිබුණා. ඒත් ඉන් වැඩිම පිරිසක් සිටියේ

ක්‍රීඩාංගණයෙන් පරිබාහිරවයි. මොකද පාසල් තරගයක මෙවැනි කනගාටුදායක ගැටුමක් සිදුවේයැයි කිසිකෙනෙක් විශ්වාස නොකළ නිසයි. ඒත් එවැන්නක් සිදුවුණා. ඊට වැඩි වශයෙන්ම හේතුවෙන් මෙවැනි තරගයක් පැවැත්වෙන ක්‍රීඩාංගණයක ප්‍රේක්ෂකාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන එන්න හැකිවීම. එවැනි පරිසරයක් ලබාදී තිබුණේ රිච්මන්ඩ් විදුහල විසිනුයි. අපි මේ ගැන රිච්මන් විදුහල්පතිගෙන් ප්‍රශ්න කරන්න කටයුතු කරනවා’ යැයිද පැවසීය.

තරගාවලියක සත්කාරකත්වය දරණ පාසල විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ සහ තම පාසලේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ප්‍රමුඛ කොට සැලකිය යුතු බවද ලේකම් ඩිල්ෂාන් ද සිල්වා මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඊයේ (09) පැවැති තරගයෙන් ලකුණු 12කින් පරාජය ලැබීමත් සමඟ උරණ වූ රිච්මන්ඩ් විදුහල් ප්‍රේක්ෂකයන් විසින් ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ නායකයාට ප්‍රහාරයක් එල්ල කර ඇති අතර මේ හේතුවෙන් තරගයේ ජය සංඛේත ප්‍රදානයට නොපැමිණ යළි කොළඹ බලා පැමිණීමට ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම කටයුතු කර තිබිණි.

කසුන් ඉරුගල්බණ්ඩාර