පසුගිය 10 වනදා දක්වා විදුලි හිඟය මත විදුලි කප්පාදු කිරීම් සිදු කළද ඉන් පසු අවුරුදු සමය තුළ එවැනි
කප්පාදුවක් සිදු නොකළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ගස් කඩා වැටීම් හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා එල්ල වී ඇති බවත් ඇතැම් ස්ථාන වල හදිසි නඩත්තු නිසාද විදුලිය කපා හරින්නට සිදුවූ බවත් පෙන්වා දෙන ඔවුන් ඒවා පෙර කී කප්පාදුව හා සම්බන්ධයක් නැතැයි පෙන්වා දෙයි.

මේ වන විට විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරමින් සිටින අතර අද (16) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම විදුලිය ලබාදීම සිදු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේය.

ඊයේ (15) පස්වරුවේ වර්ෂාවත් සමග ඇති වු තද සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීමෙන් කොට්ටාව, හෝමාගම, පාදුක්ක, හොරණ, හංවැල්ල සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා එල්ල විය.

මේ වන විට අධි බලැති රැහැන් මාර්ග සහ අඩු රැහැන් මාර්ග යථා තත්ත්වයට පත් කර අවසන් අතර විදුලි ට්‍රාන්ස්පෝමර කිහිපයක් අළුත්වැඩියා කරමින් සිටින බව සුලක්ෂණ ජයවර්ධන මහතා සදහන් කළේය.