පොතුවිල් පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී අද (27) දහවල් 12.00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකල සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොතුවිල පොලීසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ
එම පල්ලියේ සභාපතිවරයා සහ ආගමික අංශය භාරව කටයුතු කරන අයෙකු ඇතුලු යාබද ඉඩමේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

පොතුවිල් පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් සහ පොලිසිය ඒකාබද්ධව සිදුකල සෝදිසියකදී පිළිස්සීමට ලක්වූ මෙම ජංගම දුරකතන සොයාගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් සහ එම භාණ්ඩ පොතුවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සමන්ත විජේසේකරගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.වැලිසරගේගේ උපදෙස් මත පොතුවිල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර දිසානායක, කණ්ඩායම් භාර නිලධාරී උප පොලිස් පරීක්ෂක රේවන්ත හොරණගේ අරුගම්බේ, පොලිස් විශේෂකාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා ඇතුලු නිලධාරීහු 15 දෙනෙක් සෝදිසි මෙහෙයුමට එක්ව සිටිනවා.

නවරත්න සමරතුංග