මේ මස අග සතියේදී පුරප්පාඩු වන අගවිනිසුරු සහ විගණාකාධිපති ධූර සඳහා අදාළ නිර්දේශ නාම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අප්‍රේල් මස අවසන් වීමට පෙර එකඟතාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතාගේ ධුර කාලය මේ මස 28 වැනිදාද, විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගේ නිල කාලය මේ මස 24 වැනිදා නිමාවට පත් වන අතර, මේ තනතුරු සඳහා පත් කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ අනුවය. මේ වන විට අගවිනිසුරු ධුරය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ආබෘෘ,
ප්‍රියන්ත ජයවර්ධන සහ නීතිපති ජයන්ත ජයසූරිය මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති අතර, ඔවුන් අතුරින් ජ්‍යෙෂ්ඨතමයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාය.

විගණකාධිපති ධුරය සඳහා අතිරේක විගණකාධිපති චූලා වික්‍රමරත්න මහතා පත් කිරීමට කටයුතු යොදන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය විසින් ඉල්ලා ඇති අතර, වසර 30කට අධික කාලයක් විගණන අත්දැකීම් ඇති ඒ මහතා තවත් වසර 6කට අධික කාලයක් රාජ්‍ය සේවයේ යෙදී සිටිය හැකි අයකු බවද එම සංගමය පෙන්වා දී තිබේ.

මේ කරුණු සලකා බලා උක්ත තනතුරු සඳහා නාම නිර්දේශය මෙමස තුළදීම සිදු කෙරෙනු ඇතැයිද වාර්තා වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 47 අගවිනිසුරුවරයා මේ මස අග වන විට නිර්දේශ කෙරෙනු ඇතැයිද 1799 වසරේ සිට පැවතෙන විගණාධිපති ධුරයටද අතිරේක විගණකාධිපතිවරයා පත් කිරීමට බොහෝ ඉඩ ඇතැයිද වාර්තා වේ.

තාරක වික්‍රමසේකර