අප්‍රේල් 14 ඉරිදා පාන්දර 3.20 ට පමණ ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර Prahran හි 'ලව් මැෂින්' නමින් හඳුන්වන සමාජ ශාලාවේ පිටත සිදුවූ වෙඩි ප්‍රහාරයක් නිසා එක් අයෙකු මියගොස් තිදෙනෙකු තුවාල ලබා ඇත.

සමාජ ශාලාව ඉදිරිපස සිටගෙන සිටි අයට වාහනයක සිට වෙඩි තැබීම් එල්ල කර ඇති බවට සාක්ෂි ලැබී තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අරොන් කලිඩ් ඔස්මානි (37) නමැති සමාජ ශාලාවේ ආරක්ෂක භටයෙකි. වෙඩි පහර ලද අනෙක් තිදෙනාගෙන් 28 හැවිරිදි එක් අයෙකු බරපතල තත්වයේ පසුවන බවත් 29 හා 50 හැවිරිදි වියේ පසුවන අනෙක් දෙදෙනාට සුලු තුවාල සිදුව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙය හුදෙකලා සිද්ධියක් බවත් සැලසුම් සහගත ප්‍රහාරයක් යයි සැකකළ හැක්කක් නොවන බවත් පොලිසිය ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය පිලිබඳ තවම පරීක්ෂණ සිදුවේ.