මෙවර සාපෙළ විභාගය ඉහළින්ම සමත්වූ බව කියන මස්කෙළිය, ගුලැනූජි තේ වතුයායේ (16) හැවිරිදි පාසල් සිසුවියක අවාසනාවන්ත ලෙස නිවෙස්දී  සියදිවිනසාගත් සිදුවීමක් වාර්තාවෙයි.

ඇගේ මරණය ගෙළ සිර වීමෙන් සිදු කර ගත් සිය දිවි හානි කර ගැනීමක් බව
දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි
කේ.එස්.ලොකුහේවාගමගේ මහතා නිගමනය කර ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ,මස්කෙළිය, බ්ලූම්ෆීල්ඩ් දෙමළ මහා විද්‍යාලයේ ඉගෙණුම ලබමින්  මෙවර (2018) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට උසස් ලෙස සමත්ව ඇති සිසුවියකි.
මෙම මරණය පිළිබඳව මරණ පරීක්ෂණය මස්කෙළිය රෝහලේදී, මස්කෙළිය හදිසි මරණ පරීක්ෂක නරසිංහ පෙරුමාල් මහතා විසින් පවත්වා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර දික්ඔය මූලික රෝහල වෙත යොමු කර තිබුණි.
මෙම සිසුවිය තම නිවසේ කිසිවෙක් නොසිටි අවස්ථාවේ ඉකුත් (08) දා දහවල්  කාමරයක් තුළ මවගේ සාරියක ආධාරයෙන් පරාළයක බාල්කයක එල්ලී සිටින අයුරු දැක ඇති ඇගේ මව වන මයිල්වාගනම් කවිදා (42) නැමති අය වහා සාරිය කපා දමා අසල්වැසියන් සමග එක්ව මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරන විටත් ඇය මිය ගොස් සිට ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
මිය ගිය අයගේ පියා, ඇය කුඩා කාලයේදීම හැර ගොස් ඇති අතර තම මව සමග ජීවත්ව ඇත. ඇය කලකිරීමෙන් සිටි බවට ලිපියක්ද ලියා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මස්කෙළිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ආනන්ද ප්‍රේමසිරි මහතා ඇතුලු  කණ්ඩායමක් වැඩි දුර පරීක්ෂණ පවත්වති.

මස්කෙළිය - ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක