පවුල් ආරවුලක් හේතුවෙන් සිය බීරියගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි බෑනා එල්ල කළ වෙඩි පහරීන් එම අවස්ථාවේ නිවෙසේ ඇඳ මත නිදා සිටි ඥාති දියණියක් වන 23 හැවිරිදි තරුණියකට වෙඩි වැදීම හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුවතක් පෑලියගොඩ පොලිසියෙන් වාර්තා වේ. 
පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත්
බියගම පාරේ නිවෙසක පදිංචිව සිටි කාන්තාවක් ඝාතනය කිරීමේ සැලසුම් මත මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර පෙරේදා (06දා) උදෑසන 6.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත.

වෙඩි වැදුණු 23 හැවිරිදි තරුණිය දැනට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන අතර ඇගේ වම් අතට වෙඩි පහර එල්ලවී ඇත. වෙඩි පහර දෙකක් එල්ල කර ඇති අතර එක් වෙඩි පහරක් බිත්තියට වැදී ඇත.පෑලියගොඩ බියගම පාරේ පිහිටි සිය නැන්දම්මාගේ නිවසට 06 වැනිදා උදෑසන පැමිණ ඇඳ මත නිදා සිටි කාන්තාවට වෙඩි තැබූ සැකකරු පැමිණි යතුරුපැදියෙන්ම එයින්ම පලාගොස් ඇත. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයකු වන සැකකරු මීට ඉහතදී මත්කුඩු සම්බන්ධ වැරැදි සඳහා චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇති අතර දැනට විභාග වෙමින් පවතින නඩුවල විත්තිකරුවෙක්ද වේ.

සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහු සිද්ධියෙන් පසු ප්‍රදේශය හැර ගොස් සිටින අතර පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පලියගොඩ දිසා අපරාධ අංශය හා අපරාධ විමර්ශන අංශය යන පොලිස් කණ්ඩායම් කිහිපයක නිලධාරින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. සැකකරුගේ විවාහක බිරිය මත්කුඩු සම්බන්ධ නඩුවකට දැනට වසරක පමණ කාලයක සිට බන්ධනාගාර ගතව දඬුවම් විදින අතර සැකකරු වරින්වර පැමිණ සිය නැන්දම්මා සමඟ ආරවුල් ඇති කරගෙන ඇත.

-කුසුම් එස්.හැන්නදි-