කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක පෙරේදා (30දා) රාත්‍රියේ පැවැති නීතිඥයන්ගේ සාදයකදී ඇති වූ ගුටිබැට හුවමාරුවකින් නීතිඥයන්  දසදෙනකු පමණ තුවාල ලබා ඇති බවත් ඒ සම්බන්ධයෙන් තම පොලිස් ස්ථානය වෙත පැමිණිලි තුනක් ලැබී ඇති බවත් කොටුව පොලිසිය පවසයි. එකී සාදයට පැමිණි නීතිඥවරියකට එහි සිටි
එක්තරා නීතිඥයකු අසභ්‍ය වචනයෙන් බැන වැදීම මෙම ගැටලුව ඇති වීමට හේතු වී ඇති බවට කරුණු අනාවරණය වන බවද පොලිසිය පවසයි. නීතිඥවරියට අසභ්‍ය වචනයෙන් බැන වැදීම සම්බන්ධයෙන් උරණ වූ එක්තරා නීතිඥයකු අසභ්‍ය වචනයෙන් බැන වැදුණු නීතිඥයාට දෝෂාරෝපණය කරන අතරතුර අසභ්‍ය වචනයෙන්
බැන වැදුණු නීතිඥයා එහි තිබූ හිස් විස්කි බෝතලයක් කඩා එකී නීතිඥයාට පහරදිමට තැත් කර ඇති බවද පොලිසිය පවසයි.

එකී සිද්ධියෙන් පසු එහි සිටි නීතිඥයන් කීපදෙනකු දෙපාර්ශවයකට බෙදී එකී ගුටිබැට හුවමාරුව කරගෙන ඇති බවත් එදින රාත්‍රි 11.00ට පමණ ආරම්භ වූ එම ගැටුම පැය දෙකකට ආසන්න කාලයක් තිබී ඇති බවද පොලිසිය කියයි. මෙම සිද්ධියේදි නීතිඥයන් දස දෙනකු පමණ තුවාල ලබා පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවද පොලිසිය පැවැසීය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොටුව පොලිසියේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ඉහත කී  නීතිඥවරිය හා අසභ්‍ය වචනයෙන් බැන වැදුණු නීතිඥයා ඇතුළු නීතිඥයන් තිදෙනකුගෙන් එදින අලුයම 2.30 සිට පැමිණිලි තුනක් පොලිස් ස්ථානය වෙත ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරිමට පියවර ගන්නා බවය.

එකී සාදයට දිවයිනේ නන්දෙසින් පැමිණි නීතිඥයන් විශාල පිරිසක් සහභාගි වි සිටි බවද අනාවරණය වෙයි.සහකාර පොලිස් අධිකාරි කොළඹ මධ්‍යම කේ.බී. ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ හා විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් වික්‍රමරත්න හා පොලිස් පරික්ෂක උපුල් යන  මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරති.

-කුමුදු උපුල් ශාන්ත-