පාස්කු ඉරිදා ස්ථාන කිහිපයක සිදුකළ පිපිරවීම්වලට විරෝධය පළකරමින් පදියතලාව මුස්ලිම් ව්‍යාපාරිකයින් සියලු දෙනාම ඊයේ (24දා) උදෑසන තම වෙළඳසැල් වසා දමා රහුමානියා ජුම්මා පල්ලිය ඉදිරිපිට විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාවක නිරත වූහ.

''පාස්කු ඉරිදා මිලේච්ඡ ප්‍රහාරය හෙළා දකිමු!.
අයි. එස්. ත්‍රස්තවාදීන් ක්‍රිස්තියානි බැතිමතුන් ඝාතනය හෙළා දකිමු! අහිංසක නිරායුධ ජනතාව කුරිරු ලෙස ඝාතනය කින්ම සමස්ත මුස්ලිම් ජනතාව පිළිකුලෙන් යුතුව හෙලා දකිමු
ජාතික සමගිය බිඳ දමන අයි.එස්. මිල්විජ ත්‍රස්තවාදය අපට එපා!''

යනුවෙන් සඳහන් පුවරු රැගෙන ඔවුන් නිහඩ විරෝධතාවයේ යෙදී සිටියහ.

ඊට අමතරව වසා දැමූ වෙළඳ සැල් ඉදිරිපිටද මෙවැනි ආකාරයේ විරෝධතා  පුවරු ප්‍රදර්ශනය කර තිබිණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ රහුමානියා ජුම්මා පල්ලියේ ලේකම් එන්.ආර්.ඒ. හලීම් මහතා,

"අපි අවුරුදු ගානක් පදියතලාවේ ව්‍යාපාරික කටයුතු කරනවා. අපේ ගම කාත්තන්කුඩි. දැන් අපිට ඒ ගමේ නමවත් කියන්න ලැජ්ජයි. ත්‍රස්තවාදී අයි. එස්. සංවිධානයේ අයත් කාතාන්කුඩියේ. ඒ නිසා අපි ප්‍රහාරයට දැඩි සේ විරුද්ධයි. අපිට ඕන හැමදාම සිංහල, දෙමළ, බර්ගර් අයත් එක්ක හොඳින් ඉන්න."
යැයි පවසා සිටියේය.

පදියතලාව මුස්ලිම් පල්ලිය අසල පොලිස් රැකවල් යොදා තිබූ අතර නගරය පුරාම ජංගම පොලිස් කණ්ඩායම්ද රාජකාරියේ යදී සිටියේය.