තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බවට සැකකරන පුද්ගලයන් එකොළොස් දෙනකු පෙරේදා (23දා) රාත්‍රි බේරුවල කංකානම්ගොඩදී හා අලුත්ගම දර්ගා නගරයේදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකාර සාමාජිකයන් සමඟ අත් පත්‍රිකා මුද්‍රිත ටී ෂර්ට්, ප්‍රචාරක ලිපි හා බඳවා ගැනීමේ අයැදුම්පත් ද
සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් පිරිසක් බේරුවල ප්‍රදේශයේ රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව නිවෙසක රැඳී සිටි පුද්ගලයන් පස්දෙනෙක් පෙරේදා (23දා) රාත්‍රි බේරුවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


බේරුවල කංකානම්ගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවෙසක නිවෙස් හිමියා පහළ මාලයේත් තවත් සිවුදෙනෙක් ඉහළ මාලයේ සිටියදී අත් අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සංවිධානයට බඳවාගැනීමේ අයැදුම්පත් කිහිපයක්ද පොලිස් භාරයට ගත් බවත් පොලිසිය කියයි. ඔවුන් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන්ද යන්න පිළිබඳ අනාවරණය කරගැනීමට මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට පත්වූවන් අවුරුදු 30ත් 50ත් අතර වයසේ පසුවන බවත් ඔවුන් දෙදෙනෙක් බේරුවල ප්‍රදේශයේත්, දෙදෙනෙක් වත්තල ප්‍රදේශයේත්, එක් අයෙක් කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

බේරුවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජනක විතානගේ ගේ උපදෙස් පරිදි පරික්ෂණ සිදු කෙරේ.
මේ අතර, සිලෝන් තව්හිත් ජමාත් සංවිධානයේ සාමාජිකයන් පිරිසක්, අලුත්ගම ශාලාවක රැඳී සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පුද්ගලයන් හයදෙනකු 23දා සවස අලුත්ගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම දර්ගා නගරයේ ශාලාවක රැඳී සිටියදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

ඔවුන් ත්‍රස්ත සංවිධානයක සාමාජිකයන්ද යන්න පිළිබඳ අනාවරණය කරගැනීමට මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. අත්අඩංගුවට පත්වූවන් වයස අවුරුදු 40ට අඩු අයවලුන් බවත් ඔවුන් මන්නාරම, නාවලපිටිය, බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි. අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ප්‍රියලාගේ උපදෙස් පරිදි පරික්ෂණ සිදුකෙරේ.

-එම්.සී.පෙරේරා-