දිගු කලිසමකින් සැරසී මුහුණ රෙද්දකින් වසාගෙන දුරකථන ඇමතුම් ලබාගනිමින් සැකකටයුතු ලෙස සිටි කාත්තාවක් පොලිසිය භාරයට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී සැමියාගේ අනියම් සබඳතාවක් අතටම හසුකර ගැනීමට එසේ කළ බව හෙළිවීමේ පුවතක් 24දා බණ්ඩාරගම පොලිසියෙන් වාර්තා විය.

බණ්ඩාරගම මැදගම
අඳුන්වත්ත සුසාන භූමිය අසල තිබෙන ඇඟලුම් කර්මාන්තශාලාවක් ඉදිරිපිට දිගු කලිසමක් ඇඳ මුහුණ වැසෙන සේ රෙද්දකින් ආවරණය වී කළුපාටට හුරු බෑගයක් අතදරාගත් කාන්තාවක් දුරකථන ඇමතුම් ලබාගනිමින් විනාඩි තිහකට ආසන්න කාලයක සිට සැකකයුතු ලෙස රැදී සිටින බවට බණ්ඩාරගම පොලීසිය වැඩබලන
පොලිස් ස්ථානාධිපති ධම්මික නවරත්න මහතාට ප්‍රදේශවාසියකුගෙන් ලද දුරකථන ඇමතුමට වහා ක්‍රියාත්මක වූ ඒ මහතා ජංගම මුර සංචාරයේ නිරතව සිටි පොලිස් පරීක්ෂක ජේ.එන්.ද. සිල්වා මහතාට කළ දැනුම්දීමක් අනුව එම ස්ථානයට ගිය පොලිස් පරික්ෂකවරයාට දැකගත හැකි වී ඇත්තේ හිසෙහි සිට ඉණ පෙදෙස තෙක්  රෙද්දකින් වසාගත් කාන්තාවක් බණ්ඩාරගම දෙස සිට කැස්බෑව දෙසට පැමිණෙන  වහන දෙස බලා සිටිනු අයුරුයි.

ඊට මිටර් දෙසීයක් පමණ දුරින් පිහිටි ත්‍රිරෝද  රථගාලක රියැදුරන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් තාප්පයකට හා බස් නැවතුමට මුවා වී ඇයගේ ක්‍රියාව විමසිල්ලෙන් බලා සිටින අයුරුද තවදුරටත් දැකගත හැකි විය. එම කාන්තාව අසලටම ගොස් පොලිස් ජීප් රථය නැවත්වුවද ඇය එකඑල්ලේ බලා සිටින ඉරියව්ව වෙනස් නොවූ නිසා පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස ජීප් රථයෙන් බැස ඇයගෙන් ප්‍රශ්න කර තිබේ. එම කාන්තාවන්ගේ හැඳුනුම්පත පළමුව ඉල්ලා ගත් පොලීසීනිලධාරීන් එය පරීක්ෂා කර අනතුරුව ඇය සතුව තිබූ කළුවට හුරු බෑගය පරික්ෂා කිරීමේදී එහි දිගු සායක් තිබෙනු දැක ඇත.

 ඒ පිළිඳව සැක ඇතිවීමෙන් ඇය ජීප් රථයේ නංවා ගත් පොලිස් නිලධාරීහු ඇය පොලිසියට කැඳවාගෙන ගියහ. වැඩබලන ස්ථානාධිපතිවරයාගේ  උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අනුෂා හේමමාලි මහත්මිය එම කාන්තාවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇය පවසා ඇත්තේ රියැදුරකු වන සැමියා බණ්ඩාරගම මැදගම ප්‍රදේශයේ ඇඟලුම් සේවිකාවක් සමඟ අනියම් සබඳතාවක් පවතින බවට එම ඇඟලුම් ශාලාවේම සේවය කරන තරුණියකගෙන් තමන්ට දැනගන්නට ලැබුණු බවත් එය අතටම අල්ලා ගැනීමට තමා මෙසේ ක්‍රියා කළ බවත්ය. එම කාත්තාව සිදුකරන ප්‍රකාශවල  සත්‍ය අසත්‍යතාව සොයාබලා ඇයගේ සමීප ඥාතිවරයකු ගෙන්වා ඇය භාර දීමට කටයුතු කරන බව පොලිස් නිලධාරිනිය වැඩිඳුරටත් පැවැසුවාය.

-එම්.සී.පෙරේරා-