හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත අත්තනෝමතිකව සිරභාරයට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේ අරමුණින් ඇමෙරිකානු අධිකරණයේ ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය මාර්ගයෙන් නඩු පැවරූ බව කැනේඩියානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයෙකු වන රෝයි සමාදානම් මහතා සදහන් කරයි.

විජය පුවත්පත් සමාගමේ ප්‍රකාශනයක් වන 'ටැමිල් මිරර්' පුවත්පතේ කර්තෘ ඒ.පී, මදන් මහතා සමග මධ්‍යම ලන්ඩනයේ ෆෙමිලිකෝ ප්‍රදේශයේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.  තමා ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ගොනුකළ නඩුව හේතුවෙන් ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ක්‍රියාවලියට කිසිදු බාධාවක් නොවන බවද රෝයි සමාදානම්  ප්‍රකාශ කර ඇත.

මෙම නඩුව ගොනු කිරීම හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති සිහිනයට බාධාවක් නොවන බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතාට හිතවත් පිරිස් ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට මෙම නඩුව නිමිත්තක් කරගෙන ඇති බවත් හෙතෙම පවසා තිබේ.

අත්තනෝමතිකව සිරභාරයට පත්වීම හේතුවෙන් තමන්ට විඳින්නට සිදු වූ අපහසුතා සහ වදහිංසා හේතුවෙන් එයට වන්දි ලබාගැනීම සඳහා මෙලෙස නඩු පැවරූ බවද පවසන රෝයි සමාදානම් මහතා,


"2007දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව අත්අඩංගුවට ගත්තා. මාව බූස්ස කෑම්ප් එකේ තියාගෙන මට වද දුන්නා. මාව නිදහස් කළේ 2010දී. ඊට පස්සේ තවත් ලංකාවේ ඉන්න බැරි නිසා මම කැනඩාවට ගියා. කැනඩාවේදී අන්තර්ජාතික නීතිය සම්බන්ධ ආයතනයකින් මම නීති උපදෙස් ලබාගෙන මට සිදුවුණ අසාධාරණය ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2013දී පෙත්සමක් යොමුකළා. එම කවුන්සිලය එය විභාගයට ලක්කර 2015දී ඔවුන් ශ්‍රී ලංකා රජයට තීන්දුවක් ලබාදුන්නා.


 ඒ තීන්දුවේ සඳහන් වුණේ මම වදහිංසාවට ලක්ව ඇති බැවින් මාස හයක් ඇතුළත ශ්‍රී ලංකා රජය මට වන්දි ගෙවිය යුතුයි කියලා. නමුත් අද වෙනකම් ලංකා රජය එය කිසිම සැලකිල්ලකට අරගෙන නැහැ. මේ නිසාම සාධාරණයක් ඉටු කරගන්න මෙම අවස්ථාව එනකම් බලාගෙන හිටියා. ඒහෙම බලාගෙන ඉදලා තමයි මම මෙවර ඇමෙරිකාවේ නඩුව ගොනු කළේ.
මාව අත්අඩංගුවට ගත් පොලිස්පතිතුමා මගින්, ආරක්ෂක ලේකම් විදිහට හිටපු ගෝඨාභය

රාජපක්ෂ මහත්මා තමයි එයට උපදෙස් දීලා තිබුණේ. නමුත් මොවුන් නීතිය ඉදිරියට ගෙන්වන්න මම කිහිප සැරයක්ම උත්සාහ කළත් ආරක්ෂ ලේකම්කම භාවිත කරලා ඔහු ලිස්සා ගියා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිහිප සැරයක්ම ඇමෙරිකාවට ඇවිත් ගියත් නඩුවක් දාන්න බැරි වුණා. නමුත් මෙවර රට යන්න එපා කියලා උසාවි නියෝගයක් පවා දීලා තියෙද්දි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඇමෙරීකාවට ඇවිත් තියෙන්නේ. ඒ නිසා මෙවර මට සාධාරණයක් වෙයි කියලා හිතලයි නඩුව ගොනු කළේ. මොකද මාව අත්අඩංගුවට ගත් උසාවි නියෝගයක් මත නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ උපදෙස් අනුවයි මාව අත්අඩංගුවට ගෙන වද දුන්නේ. ඒ නිසා එයට ඔහු වගකිවයුතුයි.

ඒ වගේම මම මේ නඩුව දැම්මා කියලා ඔහුගේ ජනාධිපති හීනය නැතිවන්නේ නැහැ. මේ නඩුව පෙන්නලා සිංහල මිනිස්සු මතින් අනුකම්පා ඡන්ද ලබාගන්න දැන් ඔහුගේ පාර්ශ්වයේ අය උත්සාහ කරනවා. නමුත් අපහසුතාවට පත්වුණේ මම. ඒ විදිහට අපහසුතාවට පත්වුණ කෙනෙක් හැටියට මට අදාළ වන්දිය ලබාගන්නයි මම හදන්නේ"

යනුවෙන් සඳහන් කර තිබේ.